මෙම වසරේ මේ දක්වා කාලයේදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්රා 33 ක් සමගින් ඉන්දීය ධීවරයන් 220 ක් භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය.
විදේශීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කරන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ දේශීය ධීවර ප්රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් කරන බව ද නාවික හමුදාව කීය.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ කළ විශේෂ මෙහෙයුමේදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 25 ක් ඊයේ (9) රාත්රී භාරයට ගත් බව නාවික හමුදාව කීය.
භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක සහ ධීවරයින් 25 කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට නියමිත බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.