කැලිපාණාවල අස්වැද්දුම කන්ද නාය යයි

December 10, 2023

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද ඊයේ (09) නවය සවස විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයින් අනූ හත්දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගත් බවත් එම නිවාස වල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා මහත්මිය කීවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.

මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.

මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.

නාය යාම කලින් හදුනාගෙන ඉවත් වී යාමට උපදෙස් ලබා දී ජීවිත බේරාගැනීමට කටයුතු කිරීම පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය ග්‍රාම නිලධාරී තුමා ඇතුළු නිලධාරීන් ට අනේක වාරයක් ස්තූතිය පුද කරන බව කැලිපානාවෙල ප්‍රදේශවාසීහු පැවසූහ.

t

o

p