එංගලන්තයේ සහයෙන් ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය විගණන රාමුවක්

November 28, 2023

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීමට හා අපද්‍රව්‍ය මූලික දත්ත රැස්කිරීම සදහා වැඩසටහනක් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් ආරම්භ කර ඇත.

එහි සමාරම්භක අවස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් (NCPC) ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා එංගලන්තයේ The Center for Environment, Fisheries and Aquaculture Science ආයතනයේ (Cefas) හි තාක්ෂණික සහය සහ එංගලන්තයේ Ocean Country Partnership Programme (OCPP) හි මූල්‍යමය සහයෝගීතාව ලබාදෙයි. මෙය එක් අවුරුදු ව්‍යාපෘතියක් වන අතර 2024 නොවැම්බර් මාසය වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය අනාගත ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය අවම කිරීමේ ඉලක්ක වලට ලගාවීමට පිටුවහලක් වෙයි. එසේම අපද්‍රව්‍ය බැහැර කිරීම වඩාත් ඵලදායි අයුරින් කළමණාකරණය කිරීමට අවශ්‍ය විසදුම් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීම හා දත්ත රැස් කිරීම යන කොටස් 2 කින් සමන්විත වේ. මේ සදහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කරනු ඇත.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි කසළ සදහා පුළුල් දීප ව්‍යාප්ත ගුණාංගීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සදහා පුද්ගල සමීක්ෂණ සහ අපද්‍රව්‍ය විගණන දිවයින පුරා කර්මාන්ත, ව්‍යාපාර හා නිවාස ආශ්‍රිතව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් කසළ කළමණාකරණය සදහා සියළු පාර්ශකරුවන් බලගැන්වීමට අපේක්ෂා කරනු කරයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, මෙවැනි දත්ත පද්ධතියක් සකස් කිරීම හරිත ඵලදායිතාව ( Green productivity) සදහා විශාල දායකත්වයක් ලැබෙන බවත් ඉදිරියේදී ලංකාවේ සියළුම කර්මාන්ත සදහා හරිත තාක්ෂණය (Green technology) හදුන්වාදෙන බවත් පැවසුවාය.

The Center for Environment, Fisheries and Aquaculture Science (Cefas) හි සමුද්‍ර විද්‍යාඥ චාලට් රීච් මහත්මිය අපද්‍රව්‍ය කළමණාකරණයට Ocean Country Partnership Programme (OCPP) ලබාදෙන දායකත්වය පිළිබදව විශේෂ දේශණයක් පැවැත්වූවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, The Center for Environment, Fisheries and Aquaculture Science (Cefas) හි ජේෂ්ඨ සමුද්‍ර විද්‍යාඥ Dave Sivyer, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

t

o

p