රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්රික් ප්රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ පැවති හමුවේදීය.
මාතලේ දිස්ත්රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බව පැවසු ජනාධිපතිවරයා එහිදී රටේ සියලු දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහායද කෘතවේදීව සිහිපත් කළේය.
එසේ බාර ගත් රට නිවැරදි දිශානතියකට යොමු කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට හැකිවූ බවත්, වසර පහක් යනතුරු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නොහැකියැයි විපක්ෂයේ දේශපාලඥයන් පැවසුවත් මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ආර්ථික අර්බුදයේ දී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ප්රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බවද කියා සිටියහ.