T20 විගණන වාර්තාව කෝප් කමිටුවේදී විමර්ශනයට

November 15, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබිණි.

මෙහිදී 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ෂණය කිරීම සිදුවිය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කනපතිපිල්ලේ මහේසන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

කාරක සභාව ආරම්භයේදීම විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය ඇතුළු නෛතික ප්‍රතිපාදන මත විගණකාධිපතිවරයාට ක්‍රිකට් ආයතනය විගණනය කිරීමේ බලය ලැබී ඇති ආකාරය පැහැදිළි කළේය.

ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සමාජ සදහා අවශ්‍ය මග පෙන්වීම සහ නියෝග ලබා දී ඇති බව ලේකම්වරයා පැවසුවද ඒ සදහා අමාත්‍යාංශයේ මැදිහත්වීම වැඩි විය යුතු බව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
නෛතික ප්‍රතිපාදන අනුව විධායක කමිටුව විසින් අමාත්‍යවරයාගේ අනුමතිය ලබා ගතයුතු වුවද ඕස්ට්‍රේලියාවට යාම සදහා අමාත්‍යවරයාගේ ආවරණ අනුමැතියට යටත්ව 2022.10.07 දින ලේකම්වරයා අනුමතිය ලබා දී ඇතත් අමාත්‍යවරයාගේ අනුමතිය ලබා දී නොතිබීම පිළිබදව අවධානය යොමුවිය. මේ අනුව එවකට හිටපු ලේකම්වරයා ඉදිරියේදී ගෙන්වීමටත් ඊට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමටත් තීරණය විය.

ඕස්ට්‍රේලියානු සංචාරය සදහා විධායක කමිටු සාමාජිකයන් වෙනුවෙන් ගෙවිය යුතු බවට ගිණුම්ගතකර තිබූ රු මිලියන 8කට ආසන්න මුදලක් විගණන පරීක්ෂාව අතරතුර ගිණුම්වලින් ඉවත් කිරීම සහ ඊට අදාළ බිල්පත් විගණනයට ඉදිරිපත් නොකිරීම පිළිබදව ද සාකච්ඡා විය. මේ අනුව ආයතනයේ කටයුතු සදහා නිසි ක්‍රමවේදයන් සකස් විය යුතු බව කෝප් කමිටුව අවධාරණය කරන ලදී.

2016 ගැසට් පත්‍රයකට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල 2020 වසරේදී ඉවත් කිරීමෙන් ක්‍රීඩා සංගම්වලට සිය සිතැගි පරිදි කටයුතු කිරීමට බලය ලැබීම ඇති බවත් සාකච්ඡා විය. මෙම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට කැමති පරිදි මුදල් වියදම් කිරීමට බලය ලැබී ඇති බවත් එබැවින් 2016 පැවති නෛතික තත්ත්වය නැවත සමාලෝචනය කළ යුතු බව සාකච්ඡා විය.

ඕස්ට්‍රේලියානු සංචාරය සදහා වීසා ලිපි නිකුත් කිරීමේ ගැටලු, ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සම්බන්ධ විගණන විමසුම්, විදෙස් සංචාර සදහා මාධ්‍ය ආයතන තෝරා ගැනීමේදී විනිවිද බවකින් යුතු විවෘත ක්‍රමවේදයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.

මේ අනුව ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග කළ අතර ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවත් කමිටුව විසින් අවධාරණය කරන ලදී.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමටත් ඉදිරියේදී එම දින දැනුම් දීමටත් තීරණය කෙරිණි.

t

o

p