කථානායක සහ කොරියානු අග්‍රාමාත්‍ය අතර හමුවක්

November 8, 2023

කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) සහය දක්වන රටවල් අතර ශ්‍රී ලංකාවට නිරතුරුව ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් මේ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, තාක්ෂණය ආදි ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සදහා ඉදිරියේදීත් උපරිම සහය ලබා දෙන බවත් කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩුක් සූ මහතා (Han Duck-soo) මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහතික විය.

කොරියාවේ නිල සංචාරයක නිරත වන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග කොරියාවේ සෝල් අගනුවරදී පැවති සාකච්ඡාවේදී කොරියානු අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මෙරට ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සදහා ණය ප්‍රශස්තකරණය මෙන්ම ආර්ථික සංවර්ධනය සදහා කොරියාවේ සහය ලබා දෙන බවට කොරියානු ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී පැවසීම පිළිබදව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළේය.

තවද ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයෙක් ලෙස දශක ගණනාවක් පුරා දෙරට අතර පවතින ද්වීපාර්ශවීය සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දෙපාර්ශවය විසින්ම මෙහිදී අවධාරණය කරන ලදී.

කොරියාවේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයන්ට අවශ්‍ය නවීන තාක්ෂණික පුහුණුව මෙරටදීම ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. කොරියාවේ කර්මාන්ත පවතින අති නවීන තාක්ෂණයන් සමග සේවය කිරීමට සිදුවන බැවින් ඊට අවශ්‍ය පුහුණුව මෙරටදීම කොරියානු ආයතනයක් හරහා ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බවටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික විය. දැනටමත් 20000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට සේවය කරන බවත් ඉදිරියෙදී මෙරටට ලබා දෙන කෝටාව තවදුරටත් වැඩිකරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙරට ආර්ථිකය නගා සිටුවීම සදහා කොරියානු ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම පිළිබදව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි. මේ අනුව වාර්ෂිකව මීට අදාළ සාකච්ඡා පැවැත්වීම සදහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ආර්ථික කොමිසමක් (Economic Joint Commission) පත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

ස්වාභාවික සහ ඓතිහාසක උරුමයන්ගෙන් පොහොසත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කොරියානු ජාතිකයන් වැඩි ඇල්මක් දක්වන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම කොරියානු සංචාරකයන් සදහා මෙරටදී නොමිලේ වීසා නිකුත් කිරීම පිළිබදව ද ඉදිරියේදී කඩිනමින් සළකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී පැවසීය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නවීන තාක්ෂණික විෂයන් ඇතුළු කිරීම සදහා අවශ්‍ය සහය ලබා ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය. මේ අනුව කොරියානු අන්තර්ජාතික නියෝජිතායනය (KOICA) හරහා ඊට අවශ්‍ය සහය ලබා ‍දෙන බවටත් කොරියානු අග්‍රාමාත්‍යවරයා සහතික විය.

t

o

p