යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි

November 3, 2023

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියහ.

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම දූෂණ විරෝධි පනත සම්මත කිරීම, මූල්‍ය පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදබවකින් ඉටුකිරීම සදහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ආදී සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, සියලු ජාතින් අතර සංහිදියාව පවත්වා ගැනීම ආදි කරුණු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක ද නිරත විය. අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් හමුවූ අතර කථානායකවරයා සමග පාර්ලිමේන්තුවේදී දිවා භෝජනයට ද එක්වූහ.

t

o

p