සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලු විසඳන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

October 24, 2023

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලුව අදාළ සියලු පාර්ශ්ව කැඳවා සති දෙකක් තුළ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාවේ, විගණකාධිපති වාර්තාවේ කරුණු සළකා බැලීම සඳහා එම ආයතන වල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් කාරක සභාව හමුවට කැඳවා තිබුහ.

එහිදී කාරක සභා සභාපතිවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීමට නොහැකිවූ නිලධාරීන්ට වැල් පොලී එකතුකර අදාළ දායක මුදල් ලබාදීමේ සිදුවීම ගැන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව තම පනත ප්‍රකාරව තමන් කටයුතු කරන බව ඊට පිළිතුරු ලබාදුන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන ලදී. කෙසේ වෙතත් 03/2008 චක්‍රලේඛය අනුව වැල් පොලී අය නොකර, විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීමට අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය අනුව කටයුතු කරන ලෙසට කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනලදී.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් තවමත් නොලබන පිරිස් හට කලින් කාරක සභා රැස්වීමකදී ගත් තීරණයක් පරිදි ඔවුන්ගේ මුලික විශ්‍රාම වැටුප හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් වලට අදාළව ඉදිරිපත් කර තිබෙන එම දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාව පිළිබඳවද කමිටුවේදී සාකච්ජා විය. මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය භාර්ය පිළිබඳව නිවැරදිම අවබෝධය පවතින්නේ එම දෙපාර්තමේන්තුවටම බවයි. එබැවින් අදාළ යෝජිත නව සේවක සේවක සංඛ්‍යාවට අනුමැතිය ලබාදීමේදී අතීතයේ ඔවුන් සිදුකල කාර්යයන්ද සැළකිල්ලට ගන්නා ලෙස සභාපතිවරයා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත කාර්ය මණ්ඩලය ගැන අවසන් නිර්දේශ සතියක් ඇතුළත ලබා දිය හැකි බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව කාරක සභාවට දන්වන ලදී.

රාජ්‍ය නිලධාරීන් සිදුකරන යම් යම් විනය විරෝධී ක්‍රියා සඳහා ආයතන සංග්‍රහය යටතේ පවතින නීති රීති අනුව කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළේය. සමෘද්ධි බැංකුවේ නිලධාරියෙකුගේ අනුමත කළ නොහැකි හැසිරීමක් ගැන සඳහන් කරමින් රාජ්‍ය අංශයේ ආයතන සඳහා පවතින ආයතන සංග්‍රහයේ නීති රීති අනුව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපති වරයා උපදෙස් ලබා දුන්නේය. මහජනතාවට සුහදශීලි හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය සිදුකිරීමට අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

මෙහිදී සභාපතිවරයා සමෘද්ධි බැංකු වල මුදල් තැම්පත් කර ඇති ගනුදෙනු කරුවන්ට මුදල් ආපසු ලබාදීමට බැඳී සිටිනවාද නැද්ද යන්න විමසා සිටියේය. එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ ඒ සඳහා සමෘද්ධි බැංකු බැදී සිටින බවයි. ඒ අනුව අදාල ගනුදෙනුකාර භවතුන් අපහසුතාවයට පත් නොකර ඔවුන්ගේ මුදල් ලබාදීමට දිවයින පුරා සියලුම සමෘද්ධි බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එම නිලධාරීහු ප්‍රකාශ කළහ. එමෙන්ම සමෘද්ධි බැංකු මගින් ලබාදෙන ණය මුදල් පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ අනුව දේපළ ඇප රහිතව ලබා දෙන රුපියල් ලක්ෂ 05 ණය මුදල මේ වනවිට සක්‍රීයව ක්‍රියාත්මක නොවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දේපළ ඇප රහිතව ලබා දෙන රුපියල් ලක්ෂ 05 ණය මුදල ලබාදීමට අදාළ සෑම ප්‍රාදේශීය කාර්යාලයක්ම දැනුවත් කරන ලෙසද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම ගනුදෙනුකරුවන්වෙත ලබාදෙන රුපියල් ලක්ෂ 20ක ණය මුදල අදාළ සුදුසුකම් සපුරන සෑම කෙනෙක් සඳහාම ලබාදීමට කටයුතු කරන ලෙසටද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය

ශ්‍රී ලංකාව පුරා පවතින සමෘද්ධි බැංකු සියල්ලම මෙම වසර අවසානයට පෙර ජාල ගතකර අවසන් කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කාරක සභාවට දන්වන ලදී. එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිවාස ලොතරැයි අරමුදල මගින් මේ වනවිට ලංකාව පුරා නිවාස එක්ලක්ෂ හාරදහසක ප්‍රමාණයක් ඉදිකර ඇති බව සිහිපත් කළ සභාපතිවරයා ඉදිරියේදීද මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීමට එම අරමුදල හා සමාජ ආරක්ෂණ අරමුදල වඩාත් සක්‍රීයව පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන්නේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රමානුකුලව සිදු කරන ලෙස සිහිපත් කළ සභාපතිවරයා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු වැඩමුළු පැවැත්වීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

t

o

p