විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කිරීමක් ගැන අනාවරණයක්

October 23, 2023

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා තිබෙන බව අනාවරණය වී තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදීයි.

ඉන් වාහන 75 ක්ම ගෙන්වා ඇත්තේ එක් ආයතනයකින් බවට ද අනාවරණය වී තිබේ.

වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙන බවයි එම කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 250,000ක් වටිනා බලපත්‍රය අලෙවි කිරීමට රුපියල් මිලියන 5ක තීරු බද්දක් අය කරන බව ද කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ.

ඒ හරහා ජාවාරම්කරුවන් විසින් රජයේ බදු ආදායම ද අහිමි කරමින් විශාල ආදායමක් උපයා ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා එහිදී දැනුම් දෙනලදි.

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු එහිදී දැනුම් දී තිබේ.

අදාළ වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ‍රේගුවට නි‍ර්දේශ කරනලදි.

අදාළ බලපත්‍රය, විධිමත්ව භාවිත කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් විය.

t

o

p