විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක්

October 17, 2023

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සදහා අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙරට ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධවීමේ අවස්ථාව මහජනතාවට ඉදිරියේදී තවදුරටත් පුළුල් වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමග විවිධ දේශපාලන අදහස් දරන තරුණ ‍කොටස් ඇතුළු මහජනතාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් පනත් සම්පාදනය ඇතුළු කටයුතු සිදු වුවද ඒවා මාධ්‍ය හරහා ජනගත නොවීම නිසා දේශපාලඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බවද ඒ මහතා ‍පෙන්වා දුන්නේය.

දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයන් ඇතුළ මහජනතාව විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය සමග සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සතුටට කාරණයක් බව ද ලැබූ විශාල ජයග්‍රහණයක් බවද මෙහිදී එම කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මහතා ‍පැවසීය. සිවිල් සංවිධාන 13 ක් ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගීත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට මෙන්ම විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය සමග ජනතාව අත්වැල් බැදගනිමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේය.

මෙම සංසදයේ හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් මෙහිදී පෙන්වා දුන්නේ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවේ 225 දෙනාට පාලනය බාරදී බලා නොසිට පාර්ලිමේන්තුව හා සහසම්බන්ධවෙමින් කටයුතු කිරීම අවශ්‍ය බවයි. ඉන්දියාව වැනි රටක් ‍ඒ සදහා හොද උදාහණයක් බවත් ඒ මහතා පැවසීය. එසේම 8 වැනි පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ මෙම සංසදයේ කටයුතු මේ වන විට වඩාත් පුළුල් කරමින් සිදු කරන මෙහෙවර පිළිබදව මයන්ත දිසානායක මහතා ඇතුළු සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බවද හිටපු නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා පවසා සිටියේ ප්‍රජාතන්තවාදය ශක්තිමත් කරමින් ගන්නා මෙවැනි ක්‍රියාවලින්ට සහය දෙමින් එම අභියෝග ජය ගැනීමේ විශාල වගකීමක් රාජ්‍ය නිලධාරීන් සතුවන බවයි.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පෙන්වා දුන්නේ මහජනතාව ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු සංකල්පය වඩාත් ශක්තිමත් කිරීම සදහා වත්මන් ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම ඉතා වැදගත් පියවරයක් බවයි. එම කාරක සභා 17න් 8ක සභාපතිවරුන් විපක්ෂය ද 9ක් ආණ්ඩුපක්ෂය ද නියෝජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරයක් බව ද පෙන්වා දුන්නේය. එසේම මෙම කාරක සභාවට තරුණයන් ඇතුළු මහජනතාවට සහභාගී වීමට අවස්ථාව හිමිව ඇති බව ද පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග අනුව ඕනෑම පනත් කෙටුම්පතක් දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ගෙන නිර්දේශය ලබා ගැනීම අවශ්‍ය බැවින් වඩාත් විවෘතව ව්‍යවස්ථායක කටයුතු සිදු කිරීමේ අවකාශය ඇති බව ද වැඩබලන මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

එසේම ‍අදාළ අමාත්‍යවරයා කාරක සභාවේ සාමාජිකයෙකු නොවන නිසා අදාළ පනත් කෙටුම්පතේ අවශ්‍යතාව සහ ප්‍රතිපත්තිමය කරුණු කාරක සභාවට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ වගකීම රාජ්‍ය නිලධාරීන්ට හිමි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.කමිටු ප්‍රමාණය වැඩි වීම නිසා රාජ්‍ය නිලධාරී්ට මුහුණ දීමට සිදුවන ගැටලු පවතී නම් ඉදිරියේදී එම තත්ත්වය විසදීම ද මැදිහත් වන බව ද ඒ මහතා පැවසීය.

එසේම මෙහිදී පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තුළ මහජන ප්‍රවේශය වැඩි කිරීම පිළිබදව අදහස් දක්වන ලදී.

අනතුරුව විවෘත පාර්ලිමේන්තු සංකල්පය තුළ පවතින අභියෝග ජයගැනීම පිළිබද දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරය සතු වගකීම් සහ අභියෝග පිළිබදව විවෘත සංවාදයක්ද මෙහිදී පැවැත්විණි.

t

o

p