ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම වැදගත් – නියෝජ්‍ය කථානායක

October 11, 2023

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඒ මහතා මේබව සඳහන් කළේ 2023 ජාතික ඇගයීම් සතිය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබූ සැසිවාරය අමතමිනි. නියෝජ්‍ය කථානායකවරායගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, සංසදයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ජාත්‍යන්තර සංවර්ධන ඇගයීම් සංගමයේ සභාපති ඒඩා ඔකම්පෝ (Ada Ocampo), ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබොටා (Azusa Kubota) සහ ශ්‍රී ලංකා ඇගයීම් සංගමයේ සභාපති ආචාර්ය අසේල කළුගම්පිටිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නියොජ්‍ය කථානායකවරයා සඳහන් කළේ Eval Colombo 2018 සන්දර්භය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අත්සන් කරන ලද ඇගයීම් පිළිබඳ කොළඹ ප්‍රකාශය මෙරට පාර්ලිමේන්තුවේ ඇගයීම් ආයතනගත කිරීමේ ප්‍රධාන මාර්ගෝපදේශය බවට පත්ව ඇති බවයි. එමෙන්ම එම ප්‍රකාශයේ මූලධර්ම තුළ පිහිටමින් ඇගයීම් ආයතනගත කිරීම දැනටමත් ආරම්භ කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය 2018 වසරේදී රජය විසින් අනුමත කරන ලද අතර, ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉටු කරන ලද ආදර්ශමත් කාර්යභාරය වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කරන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

‍සැසිවාරයට එක්වෙමින් අදහස් දැක්වූ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සඳහන් කළේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය අනුමත කරන ලද දකුණු ආසියාවේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාව බවයි.විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පරිපූර්ණ දැක්ම, නායකත්වය සහ මගපෙන්වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම ප්‍රශංසනීය බවද නියෝජ්‍ය මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ ඇගයීම් ආයතනිකකරණය කිරීමේ වැදගත්කම; පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මැයෙන් පැවති සාකච්ඡා මණ්ඩපයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන හරිනි අමරසූරිය, කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම සැසිවාරය මෙහෙයවන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා මහතා සහ පාර්ලිමේන්තුවේ මහජනසේවා නිලධාරිනී රිශ්මියා නූටාන් මහත්මිය විසිනි.

t

o

p