ඊශ්‍රායල අර්බුදය පිළිබඳව ජනපතිගෙන් අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කිරීමක්

October 9, 2023

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය.

ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බව ද ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් විවේචන එල්ල වුව ද මෙවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

දැනට පවතින මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

t

o

p