ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

October 9, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6 ක් සළකාබලා අනුමැතිය ලබා දෙනලදි.

2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2329/19 සහ 2342/24 දරන ගැසට් පත්‍ර පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මෙම ගැසට් පත්‍ර අනුව රත්මලාන සහ යාපනය ගුවන්තොටුපළ සිට අපගමන බදු ප්‍රමාණය (Embarkation Tax) ඇ.ඩො. 60 සිට ඇ.ඩො 30 දක්වා පහත දැමීම සිදුකරන බව නිලධාරීහු පැවසූහ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා මෙම තීරණය ගනු ලැබු බව මෙහිදී අනාවරණය වූ අතර මේ සම්බන්ධ විශ්ලේශනාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.

2018 අංක 35 දරන මුදල් පනත යටතේ අංක 2340/42 යන ගැසට් පත්‍රයේ නිවේදන සදහා ද මෙහිදී අවධානය යොමුවිය. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් ගෙන්වන වාහන, සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන බැවින් එම වාහන විකිණීමේදී හෝ අපහරණයේදී අයකරන සුඛෝපභෝගී බද්ද එම වාහන භාවිත කළ කාලසීමාව මත අයකර ගැනීමට අදාළව මෙම ගැසට් නිවේදනය පළ කර ඇත. එසේම 2018 අංක 35 දරන මුදල් පනත යටතේ 2334/24 යන අංක දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය මගින් එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන ආයනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය යටතේ පැවති දිනයන් තවත් මාස කිහිපයකින් ඉදිරියට දැමීම සිදු කර ඇත.

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2341/63 දරන ගැසට් පත්‍රයේ නියමය පිළිබදව ද කරුණු විමසීම සිදුවිය. කර්මාන්ත විෂය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත මුදුණ කර්මාන්තයට අදාළව දේශීය තීන්ත නිෂ්පාදකයන් සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට සෙස් බදු සහනයක් ලබා දීම පිණිස මෙම නියමයන් ඉදිරිපත් කර තිබිණි.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2347/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි ද මෙහිදී සළකා බැලිණි. 2023 ජූනි 14 වැනි දින ගැසට් පත්‍රය අනුව තිරිගු පිටි ආනයනය සදහා ආනයන බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වූ අතර මෙම ගැසට් පත්‍රය මගින් එය ඉවත් කිරීම සිදුවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ පියවර පිළිබදව මීට පෙරද රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී නිර්දේශ ලබා දී තිබූ බැවින් එය ක්‍රියාත්මක කිරීම පිළිබද සතුට පළ කරන බව කමිටු සභාපතිවරයා පැවසීය.

ගැසට් පත්‍ර පිළිබද සළකා බැලීමෙන් පසු ඒවාට අදාළ අනුමැතිය ලබා දීම සිදුවිය.

t

o

p