ප්‍රමුඛතාව මත මාර්ග නඩත්තු කටයුතු ආරම්භ කිරීමට සූදානම්

October 5, 2023

අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති මෙන්ම මහා මාර්ග නඩත්තු කටයුතු ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ප්‍රමුඛතාව මත නැවත කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ ආසනවල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්ද සලකා බලමින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග ප්‍රමුඛතාව ලබා දීය යුතු මාර්ග පිළිබද නැවත සමාලෝචනයක යෙදීම සදහා සියලු අදාළ පාර්ශ්ව අමාත්‍යාංශයට කැදවීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පවසා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනි.

රටේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් දේශීය ණය අරමුදල් මත ආරම්භ කෙරුණු කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ වී ඇති I-Road වැඩසටහන ඇතුළු ව්‍යාපෘතීන් සදහා ප්‍රතිපාදන ලබා දීම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන තෙක් එම ආයතන විසින් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් කෙසේ හෝ නැවතී ඇති මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට එම ණය ආධාර සපයන ආයතන සමග සාකච්ඡා කරමින් අදාළ පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග ව්‍යාපෘති හා ඒවායේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

වාර්ෂික මාර්ග නඩත්තුව යටතේ කිලෝ මීටර 12000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් සාමාන්‍යයෙන් නඩත්තු කටයුතු සදහා රු.බිලියන 10ක පමණ මුදලක් හිමි වුවද මේ වසරේ වෙන් කරන ලද රු.බිලියන 6ක පමණ මුදලින් දැනට ලැබී ඇත්තේ රු.බිලියන 3කට ආසන්න මුදලක් බව ද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා මාර්ග නඩත්තුවට බාධා එල්ල වී ඇති බව ද ඔවුහු පැවසූහ.

එසේම කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ මාර්ග 17000km ක වැඩ ආරම්භ කර තිබුනද 6100km ක පමණක් වැඩ අවසන් ව ඇති බව හෙළි විය. වැඩ ආරම්භ කර ඇති ඉතිරි මාර්ගවලින් අත්‍යාවශ්‍ය මාර්ග 1610km ක ප්‍රමාණයක් නිම කිරීම සදහා රු. බිලියන 15ක මුදලක් අපේක්ෂා කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපාදන මත දැනට වැඩ අතරමග නතරවී ඇති I- Road ව්‍යාපෘතිය පිළිබදවත් මෙහිදී අවධානය යොමුවිය. ආසියානු සංවර්ධන බැංකුව දැනට ප්‍රතිපාදන ලබා දීම නතර කර ඇති බවත් වැඩ ආරම්භ කර අතරමග නතරවී ඇති මාර්ග සදහා ඇ. ඩො. මිලියන 347 ක් අවශ්‍ය වුවද අත්‍යවශ්‍යම මහා මාර්ග සදහා ඩො. මි. 60ක මුදලක් ලබා දීමට මේ වන විට එකඟතාව පළ කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මේ අනුව මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන පරිදි ප්‍රමුඛතාව අනුව එක් එක් දිස්ත්‍රික්කවල මෙම මාර්ග ව්‍යාපෘති වැඩ ආරම්භ කිරීමට නියමිත බව ද නිලධාරීහු පැවසුහ.

පවතින දේශපාලන ව්‍යුහයන් සමග සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මේ නිසා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එසේම ඒ සදහා වගකිවයුතු නිලධාරීන් සහභාගී කරවන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ අනුව කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන, I-Road ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අයත් මහාමාර්ග නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු ආසන මට්ටමින් සෑම ආසනයකටම සාධාරණව බෙදී යන පරිදි ප්‍රමුඛතාව මත නැවත සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය විය. ඒ සදහා සාකච්ඡා කිරීමට එක් එක් පළාතට අදාළ පාර්ශ්ව අමාත්‍යාංශයට ගෙන්වීම සදහා දිනයන් වෙන් කරන ලෙසද අමාත්‍යාවරයා උපදෙස් දුන්නේය.

t

o

p