මුස්ලිම් පල්ලියක් මගින් දෙනු ලැබු බත් දන්සලක් පිළිබඳ වාර්තා වන්නේ වැල්ලම්පිටිය මිතොටමුල්ලෙනි. ඒ නබි තුමාගේ ජන්ම දිනය සැමරිම නිමිතිකොට ගෙනය. වැල්ලම්පිටිය පරම ධම්මෝදය විහාරාධිපති විටියල කවිධජ හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මීතොටමුල්ල මුස්ලිම් පල්ලියේ මවුලවි දේශබන්දු ෆයිසර් කාරි තරුණ මුස්ලිම් සංගමය (මධ්‍යම කොළඹ) වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශය සමඟ මීතොටමුල්ල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ද්‍රවිඩ ජනතාවගේ ද සහභාගිත්වයෙන් මෙම මහා බත් දන්සල සාර්ථක ලෙස පවත්වනු ලැබුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කවිධජ හිමියෝ අප ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලුම ජනවර්ගයන් ඉතා සුහදව සමඟියෙන් ජිවත් වෙනවා. ඉදිරියටත් අපි සමඟියෙන් එකාවන්ව හිදිමින් රටටම ආදර්ශයක් ලබා දෙමු යැයි කීහ.
පල්ලියේ මවුලවි ෆයිසර් කාරි මහතා අදහස් දක්වමින් අද අපිට ඉතාමත් වැදගත් දවසක්. අප සියලු දෙනා සංහිඳියාවෙන් සමඟියෙන් හැමදාමත් එකට ඉන්නවා නම් මේ රට මේ ලෝකය මොන තරම් ලස්සන ද ? ඒ ආදර්ශය මීතොටමුල්ලෙන් අපි රටට ලබා දෙමු.
මධ්‍යම රාත්‍රිය වන තුරුත් ජනතාව සිරුවට පෝලිම් ගැසි බත් වේලක රස විඳ ගත්තේ ජාතින් අතර සුහදතාව සාමය සමඟිය සංහිඳියාව ද බෙදා හදා ගනිමිනි. කවිධජ හිමි, මවුලවි ෆයිසර්කාරි, නුගේගොඩ දිස්ත්‍රික් 03 සහකාර පොලිස් අධිකාරි දිප්ති කුමාර, වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක ගුත්තිල සිල්වා, ප්‍රජා පොලිස් අංශයේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහූ මෙම අවස්ථාවට සහභාගි වුහ.