හිඟ ආදායම් බදු වසර 3ක් තුළ අයකර ගන්න සූදානමක්

September 25, 2023

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පසුගියදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වු අතර එහිදී මීට පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා සිටින ලදී. මෙම රැස්වීමට මුදල් අමාතයාංශයේ නිලධාරීන් ද කැඳවා තිබිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීන සංකීර්ණ ක්‍රියාවලියක් පත්ව ඇති බැවින්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරිකයන් බදු නොගෙවා සිටීමට උත්සාහ දරන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය. මෙම ක්‍රියාවලියේ පවතින ගැටලු විසඳාගනිමින් ක්‍රියාවලිය යහපත් අතට පත් කරවීම සඳහා කොපමණ කාලයක් ගත වේද යන්න සභාපතිවරයා විසින් දේශීය ආදායම් නිලධාරීන් වෙතින් විමසන ලදී.

බදු ගෙවීමේදී ස්වයං තක්සේරුකරණය සදහා වසර 3ක් ගතවන බවත් අභ්‍යන්තර බදු අභියාචනා ක්‍රියාවලිය සදහා වසර 2ක්ද බදු අභියාචනා කොමිෂන් සභාව සහ අධිකරණයේ ගොනු කරනු ලබන අභියාචනා විභාගය සදහා නියමිත කාලසීමාවක් නිශ්චය කර නොමැති බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව රදවා තබා ගත් බදු ( held over tax) අයකර ගැනීම සදහා අවුරුදු තුනක කාලසීමක් පමණක් ලබා දෙන ලෙසත් එම කාලය තුළ හිග බදු ගෙවීමට අපොහොසත් වුවහොත් දේපළ අත්පත් කර කරගැනීම වැනි ක්‍රියාමාර්ග ගත යුතු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

2023.06.30 දිනට හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 ක් බවත්, ඉන් බිලියන 767 ක් රදවා තබාගත් බදු ගෙවීමේ හැකියාව අවිනිශ්චිත තත්ත්වයේ (Held over) පවතින බවත්, එකතු කර ගත හැකි තත්වයේ (Collectable) හිඟ බදු ආදායම රුපියල් බිලියන 175 කට ආසන්න බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව දැනට එකතු කරගත හැකි මට්ටමේ හිඟ බදු ආදායම 20% ක් පමණක් බව මෙහිදී හෙළිදරව් විය. එමෙන්ම ඉදිරි 2023 වසර සදහා බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.67 ක් වන බව මෙහිදී අනාවරණය විය.

මෙහිදී බදු ගෙවීම සහ ගෙවීම් පැහැර හැරීම වැලැක්වීම සඳහා දේශීය ආදායම් පනතේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධ ගැටලු, RAMIS පද්ධතියේ තාක්ෂණික කාරණා සම්බන්ධ ගැටලු, නිලධාරීන්ගේ පවතින අඩුපාඩු සහ අක්‍රමිකතා යන ප්‍රධාන ගැටලු ත්‍රිත්වය සදහා අවධානය යොමු විය.

ඉහත ගැටලු සඳහා ගනු ලබන විසඳුම් සහ යෝජනා මාසයක් තුළ කාරක සභාව වෙත වාර්තා කරන ලෙස සභාපති පාඨලී චම්පික රණවක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ධන බද්ද/ බූදල් බද්ද සම්බන්ධ යාන්ත්‍රණය සිදු කරන්නේ කෙසේ ද යන්න තීරණය කිරීමේ හා 45% ක නියාමනය නොකළ වෙළඳපොළ නියාමනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. 1992 ට පෙර ක්‍රියාත්මක වූ බූදල් බද්ද සහ එය ක්‍රියාත්මක වූ ආකාරය ද, එම බදු ක්‍රමය අක්‍රිය වීමට හේතු මෙන්ම, බද්ද පැනවිය හැකි ආකාර මෙන්ම මෙම බද්ද ගණනය කිරීමේදී විමසා බැලිය යුතු පරාමිතීන් සම්බන්ධයෙන් සති 2 ක් තුළ කමිටුව වෙත වාර්තා කරන ලෙස ද, අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. එමෙන් ම මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීම සඳහා කටයුතු කරන ලෙස ද කාරක සභාවේ ලේකම්වරිය වෙත උපදෙස් දීමට සභාපතිවරයා කටයුතු කළේය.

බදු ගොනුවක් විවෘත කිරීමේ දැනට පවතින සංකීර්ණ ක්‍රියාවලිය පරාමිතීන් 20 කින් පමණ සමන්විත වන බවත්, දෙපාර්තමේන්තුවේ භෞතික සහ මානව සම්පත් ධාරිතාව අනුව දිනකට විවෘත කළ හැකි බදු ගොනු ප්‍රමාණය 144 ක් පමණක් බව, අදාළ කාර්‍යයේ නිරත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කමිටුව හමුවේ මින් පෙර ප්‍රකාශ කළ බව කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මිලියන 1.2 ක බදු ගොනු විවෘත කිරීමේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා පවතින තත්ත්වය යටතේ අවු. 24 ක් වැනි දීර්ඝ කාලයක් ගතවීමේ අවදානමක් පවතින බව ද, පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේ මේ වසර අවසානය වන විට බදු ගොනු ලක්ෂ 5 ක පමණ ප්‍රමාණයක් විවෘත කොට අවසන් කිරීමේ හැකියාවක් පවතින බවයි. එමෙන්ම එකවර බදු ගොනු කිහිපයක් විවෘත කිරීමේ (Bulk Registration) ක්‍රියාවලිය සකස් කොට අවසන් ව ඇති බව ද නිලධාරීහු ප්‍රකාශ කළහ. බදු ගොනුවක් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පරාමිතීන් උපරිමය 5 දක්වා අඩු කොට ක්‍රියාවලිය සරළ කිරීමේ අවශ්‍යතාව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන් අතර, මීළඟ අවුරුද්දේ එකවර බදු ගොනු රාශියක් විවෘත කිරීමේ (Bulk Registration) ක්‍රමය මගින් විවෘත කළ හැකි බදු ගොනු ප්‍රමාණය මිලියනය දක්වා වැඩි කළ යුතු බව දැනුම් දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘RAMIS’ පද්ධතිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදිය සමග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය. පුද්ගලික පාසල්, මහා පරිමාණ ටියුෂන් ආයතන, උපදේශන සේවා සපයන සෞඛ්‍ය චැනල් සේවා ආයතන, පුද්ගලික සෞඛ්‍ය සායන පවත්වන ආයතන, මිනින්දෝරු, ඉංජිනේරු, නීතීඥ සේවා සපයන ආයතන උපයන ආයතන සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නොමැති බවත් ඒ සම්බන්ධ තොරතුරු රැස් කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, ඒ අනුව ග්‍රාම නිලධාරීන් ලවා දේශීය ආදායම් පද්ධතියට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය සම්බන්ධීකරණය කර දීමේ හැකියාව කාරක සභාව සතුව පවතින බවත්, කාරක සභා සභාපතිවරයා නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

ඉහත සඳහන් කෙරුණු ආකාරයේ රාජ්‍ය ආයතනවල කටයුතු එක් කොට මුදල් අමාත්‍යාංශයේ උපදෙස් සහිතව විශේෂඥ සහාය ලබාගෙන, සුදුසු ආකාරයෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සහිත ව්‍යුහයක් සකස් කිරීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

බදු පැහැර හැරීම මගින් රජයේ ඒකාබද්ධ අරමුදලට වංචා සිදු කරන ලද බදු ගෙවන්නන් සම්බන්ධ විස්තර කාරක සභාව වෙත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැඳී සිටින බවත්, ඒ සම්බන්ධ පවතින ගැටළු විසඳාගෙන සතියක් තුළ වාර්තා කරන ලෙස නිලධාරීන් වෙත මෙහිදී දැනුම් දෙන ලදී.

සරළ කළ අගය මත එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කරන්නේ නම්, ව්‍යාපාරිකයන්ගේ ගෙවීම් සිදු කොට අවසන් කරන කාල සීමාව මෙහිදී සභාපතිවරයා විසින් ප්‍රශ්න කරන ලදී. ප්‍රේෂණ පත්‍රය (Remittance) ලබා දී දින 45 ක් ඇතුළත එම ක්‍රියාවලිය සිදු කරන ලෙසට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ද මෙහිදී දැනුම් දුන්නේය.

t

o

p