රාජ්‍ය ආයතනවලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීම‍ට නොහැකි වීම නිවැරදි පුවත් ජනතාවට සමීප කිරීමට ප්‍රධාන බාධාවක්

September 19, 2023

ජනමාධ්‍ය වාර්තාකරණයේදී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකිවීම වාර්තාකරණය සදහා ප්‍රධාන බාධාවක් බව ජනමාධ්‍ය ආයතන ප්‍රධානීහු පාර්ලිමේන්තුවේදී පැවති විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු දැක්වූහ. විශේෂයෙන් ඇතැම් මාධ්‍ය ලේකම්වරුන් එම සම්බන්ධීකරණය නිසියාකාරව සිදු නොකිරීම නිසා රජයේ යහපත් සංවර්ධන වැඩසටහන් පවා ජනතාව අතරට ගෙනයාමට නොහැකි වී ඇති බව ඔවුහු පෙන්වාදෙන ලදි.

මේ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහතාට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය. විවෘත සහ වගකිවයුතු රජයක් තුළ වඩාත් යහපත් අනාගතයක් ගොඩ නැංවීම සදහා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම කාරක සභාව රැස්වූ අතර විද්‍යුත් හා මුද්‍රිත් මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සදහා ජනමාධ්‍ය සිදුකරන කාර්ය භාරය අගය කළ කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ සමාජ පෙරගමන්කරුවෙක් වන ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට පවතින ගැටලු හා බාධා විසදා ඉදිරියට යාම සදහා මෙම කාරක සභාවෙන් අවශ්‍ය නිර්දේශ සහ උපරිම සහය ලබා දෙන බවයි.

වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහි කිරීම සදහා පුහුණු ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මේ සම්බන්ධව දැනට පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය. එම කටයුතු ප්‍රමාද නොකර කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කමිටුව විසින් උපෙදස් ලබා දෙන ලදී. එසේම ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා කමිටුවක් ක්‍රියාත්මක බවත් ඒ සදහා අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ආරාධනා කරන බවත් ලේකම්වරයා පැවසීය.

එසේම මුද්‍රිත මාධ්‍ය මුහුණපා ඇති ගැටලුකාරී තත්ත්වය තුළ තින්ත, කඩදාසි ඇතුළු ද්‍රව්‍ය සදහා යම් සහනයක් රජය මගින් ලබා දීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.

රාජ්‍ය විද්‍යුත් හා මුද්‍රිත ආයතන මේ වන විට භාණ්ඩාගාරයේ යැපීමෙන් තොරව ස්වයං ආදායම් උත්පාදනය සිදු කරන බැවින් ආවරණ කටයුතු නොමිලේ සිදු කර ගැනීමට ඇති අපහසුතාව පිළිබදවද රාජ්‍ය ජනමාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙහිදී කරුණු පෙන්වා දුන්හ. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නොමිලේ ප්‍රචාරය ලබා ගත හැකි බවට වැරදි මතයක් නිර්මාණය වී ඇති බවත් තවදුරටත් එසේ සිදු කොට මෙම ආයතන පවත්වාගෙන යා නොහැකි බැවින් මේ සදහා මැදිහත් වීමේ අවශ්‍යතාව ද ඔවුහු පෙන්වා දුන්හ. මේ අනුව මේ සදහා නිර්දේශයන් ලබා දීමට කාරක සභාව මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.

අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ අපරාධ වාර්තාකරණයේදී එය මාධ්‍ය ආචාරධර්ම මත සිදු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

තවද මාධ්‍ය නාලිකා ශ්‍රේණිගත කිරීම සදහා විනිවිද බවකින් යුතු ස්වාධීන ආයතනයක් පිහිටුවීම, ජනමාධ්‍යවේදීන්ගේ ආර්ථික හා සමාජීය සුරක්ෂිත බව තහවුරු කිරීම සදහා අරමුදලක් පිහිටුවීම, බාධාවකින් තොරව ජනමාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයේ අයිතිය තහවුරු කිරීම, වැරදි තොරතුරුවලට අදාළ සමාජ මාධ්‍ය නියාමනය, මාධ්‍ය බලපත්‍ර ලබාදීමේදී පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව යන කරුණු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

ඒ අනුව මෙම සාකච්ඡාවට අදාළ නිර්දේශ පාර්ලිමේන්තුව හරහා රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ද මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියේය.

t

o

p