ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුමැතිය

September 15, 2023

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්‌වූ අවස්ථාවේ මෙම අනුමැතිය ලබා දීම සිදු විය. මෙම රැස්වීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් සහ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පත්කරන ලද තරුණ නියෝජිතයන් සහභාගි වූහ.

නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් (IUU) ධීවර කටයුතුවලදී, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වරදකරුවෙකු ලෙස සලකනු ලබන්නේ බලපත්‍රලාභියා පමණි. නමුත්, බලපත්‍රලාභියා කවරේද යන්න ධීවර පනතේ අර්ථ නිරූපණය කර නොමැත. මේ හේතුවෙන් නීතිමය පියවර ගැනීමේ දී බාධා ඇතිවී තිබේ. නව සංශෝධන හරහා බෝට්ටුවේ අයිතිකරු, බෝට්ටුවේ නියමුවා, එහි කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයෙකු සහ එම බෝට්ටුවේ ගමන් කරන තැනැත්තෙකු එම වරදට වගකිවයුතු කෙනෙකු හැටියට සැලකීම ඇතුළු කරුණු පනත් කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති බව නිලධාරිහු සඳහන් කළහ. එසේම, මෙම විධිවිධාන සංශෝධනය කරන ලෙස ධීවර සංගම් ද ඉල්ලීම් කර ඇති බව ද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත්කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලදී. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත්කිරීමට නියමිත සංශෝධන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර අනුමැතිය ලබා දෙන ලදී.

තවද, ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන විට අනතුරට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන් නොමැති බව කාරක සභාවේ සභාපති ඩී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ. එසේම, සෑම ප්‍රදේශයකම නාවික හමුදාවේ සහය ද ලබා ගන්නා බවද නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ ධීවර පරීක්ෂකවරුන්ව නොහඳුනන හැකි බැවින් ඕනෑම ප්‍රදේශයක ධීවරයින්ට හදිසි අනතුරු සිදුවුවහොත් වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කරන ලදී.

මෙයට අමතරව, ධීවරයින් විසින් වෙරළාශ්‍රිතව ඉදිකරන ලද තාවකාලික ධීවර වාඩිය සඳහා අවසර ලබා දීම සම්බන්ධ කරුණු, ධීවර බෝට්ටුවල ප්‍රමිතිය, බෝට්ටුවලට ඇති රක්ෂණ සහ මිරිදිය මසුන් වගාව ඇතුළු කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන සුදත් මංජුල,කපිල අතුකෝරල, කින්ස් නෙල්සන් යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ද සහභාගී වූහ.

t

o

p