නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජික පිරිසක් කථානායකවරයා හමුවෙති

September 13, 2023

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන ඇති බව නවරත්න මහතා මෙහිදී සදහන් කළේය. විශේෂයෙන් දැනට සේවයේ නිරත විනිසුරුවරයන් නම් වශයෙන් සදහන් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ද දක්නට ලැබුණු බැවින් මෙම තත්ත්වය පිළිබදව නීතිඥ සංගමයේ කනගාටුව පළ කරන බවද ඔවුහු පැවසූහ.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නීතිඥ සංගමයේ සභාපතිවරයා මීට අදාළ ලිඛිත ඉල්ලීමක් ද කථානායකවරයා වෙත භාරදීම සිදු කළේය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ මෙරට විනිසුරුවරයන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවයි. එබැවින් මේ සම්බන්ධව ඉදිරියේදී මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කථානායකවරයා පැවසීය.

නීතිඥ සංගමය සංගමය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සභාපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර, සහකාර ලේකම් නීතිඥ මෙහෙරාන් කරීම් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p