අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයට යට කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ

September 9, 2023

තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාල 05ක් ඇතුළු රැකියා ඉලක්ක කර ගත් අධ්‍යාපනය දෙන විශ්ව විද්‍යාල 10ක් මෙරට ආරම්භ කිරීමට කටයුතු යොදන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ඕනෑම සිසුවකුට අවශ්‍ය නම් වසර 10-15ක් වැනි කාලයක් තුළ ගෙවිය හැකි ණය සහන ක්‍රමයකට ලබා දෙන බවත් කී ජනාධිපතිවරයා අලුතින් වෛද්‍ය පීඨයක් ද අරඹන බවත් සඳහන් කළේය.

රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව අවධාරණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මේ අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයෑමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට පස්වරුවේ එක්වෙමිනි.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. විද්‍යාලයට වසර 150ක් පිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්මෙහිදී සිදු කෙරිණි. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. 2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මේ උත්සවයට සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මට ආරාධනා කළා. පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙන නිසා එතුමාට මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වුණා. ඒ වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මා සමඟ මෙහි පැමිණ සිටිනවා. මා මීට පෙර මේ විද්‍යාලයට පැමිණි අවස්ථාවේ මෙය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කළා.

ඒ වගේම අද මෙහි පැමිණි අවස්ථාවේ විද්‍යාලයට අඩුපාඩුවක්ව පවතින ප්‍රධාන ශ්‍රවණාගාරයක් ලබාදීමට මා තීරණය කළා. 1872 මේ පාසල ආරම්භ කරන විට උතුරු මැද නමින් පළාතක් තිබුණෙත් නැහැ. මෙවැනි තත්ත්වයක් සමඟ වසර 150ක කාලසීමාවක මේ විද්‍යාලය සාර්ථකව ඉදිරියට පැමිණ තිබෙනවා. ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මා මේ පාසලට පැමිණියා. ඒ අනුව එදත් මෙහි සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා. දැන් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර වසර 40ක් පමණ ගත වෙනවා. දැන් අප අලුතින් අධ්‍යාපනය පිළිබඳ සිතිය යුතුයි.

එදා මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මේ පළාතට ජංගම දුරකතනයක් තබා නිවෙසක දුරකතනයක්වත් තිබුණේ නැහැ. අද මේ සියලුදෙනා අතේ ජංගම දුරකතනයක් තිබෙනවා. අද අප සිටින්නේ නවීන ලෝකයක. තවත් වසර 20ක්-30ක් ගතවන විට මෙයට වඩා විශාල වෙනසක් ලෝකයේ සිදු වෙනවා. නවීන තාක්ෂණය ලැබී තිබෙනවා. ලොක්චේන්, කෘත්‍රීම බුද්ධිය, ජෙනොම් තාක්ෂණය මේ සියල්ල සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය වෙමින් තිබෙනවා. එම දියුණු ලෝකය සමඟ ඉදිරියට යෑමට අප සුදානම් විය යුතුයි. අද තිබෙන අධ්‍යාපන ක්‍රමය ඊට සුදුසු නැහැ.

අප අලුතින් සිතා අලුත් ක්‍රමයක් අනුව ඉදිරියට යා යුතුයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳ කටයුතු කරමින් සිටිනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විදේශ ආධාර ලබා ගැනීම ඇතුළු වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. එසේම තවත් වාර්තා දෙකක් අප ලබාගෙන තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස මේ රටේ වැඩියෙන්ම මුදල් වියදම් කරන අමාත්‍යාංශ 10 පිළිබඳව සහ එම වැඩසටහන් පිළිබඳව අප වාර්තාවක් ඉල්ලා තිබෙනවා. අපට පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එම වාර්තාව ලැබුණා. පාසල් අධ්‍යාපනය, පරිපාලනය, උසස් අධ්‍යාපනයේ තිබෙන අඩු පාඩු එහි පෙන්වා දී තිබෙනවා.

එම අඩු පාඩු අපට බැහැර කරන්න බැහැ. එම අඩු පාඩු පිළිබඳ අවධානය යොමු කරමින් නව අධ්‍යාපන යෝජනාවලියක් සකස් කළයුතුයි. එසේම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා යටතේ අධ්‍යාපනය පිළිබඳ තවත් වාර්තාවක් ලබාගෙන තිබෙනවා. මේ වාර්තා දෙක සහ තවත් සාධක ගණනාවක් පදනම් කරගෙන අප මෙම වැඩකටයුතු ආරම්භ කරනවා. ඊට අමතරව අනාගතයට අවශ්‍ය තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ තාක්ෂණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තිබෙනවා. කලා උපාධිය හදාරන පිරිස වැඩි වුවත් ඔවුන්ට රැකියා අවස්ථා නැහැ. ඒ වගේම විද්‍යාව හැදෑරීමට කැමති අයට එම අවස්ථාව ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අපට විශාල වැඩකොටසක් කිරීමට තිබෙනවා.

ඒ සඳහා තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාල අවම වශයෙන් 05ක්වත් මෙරට ආරම්භ කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. අමෙරිකාවේ, එංගලන්තයේ වගේ දියුණු තත්ත්වයට පත්වුණාම මේ එක් විශ්වවිද්‍යාලයක 25,000ක පමණ පිරිසක් සිටිනවා. තවත් විශ්වවිද්‍යාල 05ක් පමණ අලුතින් ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. NSBM විශ්වවිද්‍යාලය එවැනි විශ්වවිද්‍යාලක් ලෙස ඉදිරියට ගෙන යනවා. ඒ වගේම දැනට තිබෙන SLTC, SLIIT, Royal Institute වැනි උපාධි ප්‍රදාන ආයතනත් දැන් විශ්වවිද්‍යාල වගේම වැඩකටයුතු කරගෙන යනවා. මේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන ඕනෑම සිසුවකුට අවශ්‍ය නම් අප සහන ක්‍රමයකට ණය ලබා දෙන්නම්. වසර 10-15ක් තුළ එය නැවත ගෙවීමට හැකියාව තිබෙනවා.

මේ සියලු ආයතන රැකියා ඉලක්ක කරගත උපාධි ආයතන විය යුතුයි. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට. අප උත්සාහ කරන්නේ රටේ සියලු දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට සහ නවීන තාක්ෂණ දැනුම ලබාදීමටයි. කලා විෂය හැදෑරීම නිසා ඇතැම් පීඨවලට ඇතුළත්වීම නැවැත්විය යුතුයි කියා මා සිතන්නේ නැහැ. කලා විෂය හැදෑරීම කෘෂිකර්මය හැදෑරීමට ගැටලුවක් විය යුතු නැහැ. කලා, විද්‍යා කියා බෙදීමක් සිදු නොකර ඕනෑම සිසුවෙකුට කලා, විද්‍යා අංශ දෙකින්ම විෂය ධාරා තෝරා ගැනීමට අවස්ථාව දිය යුතුයි. ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම ද සිදු කළයුතුයි. ඊළඟ වසර 10 තුළ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි දැනුම ලබාදීමට කටයුතු කරනවා.

ඒ සඳහා ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කිරීම සිදු කරනවා. ඉදිරි රැකියා අවස්ථා සඳහා සූදානම් වීමේ දී ඉංග්‍රීසි භාෂාව පමණක් නොව හින්දි, චීන, ජපාන, ප්‍රංශ හා ජර්මන් භාෂාව, ඉතාලි භාෂාව මේ සියලු භාෂා දැනුම වර්ධනය කර ගැනීම අවශ්‍යයි. එදා මා පාසල් දරුවන්ට ටැබ් ලබාදීම ගැන කතා කළා. තවත් වසර 05ක්, 06ක් ගත වන විට ටැබ් ලබාදීම ප්‍රමාණවත් වන්නේ නැහැ. කෘත්‍රීම තාක්ෂණය හෙවත් AI භාවිතය පිළිබඳව අද බටහිර ලෝකයේත්, ඉන්දියාව, චීනය වැනි රටවලත් විශාල වශයෙන් වාද විවාද සිදු වෙනවා . විශේෂයෙන් ගුරු වෘත්තියේ දී ගුරුවරයා පමණක් නොවෙයි, කෘත්‍රිම බුද්ධිය ද යොදවා ගන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් නොලබන දරුවන්ගේ අනාගතය පිළිබඳව ද අප සිතිය යුතුයි.

අප 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) යෝජනා කළා. අවුරුදු 02ක කාලසීමාවක් තුළ රැකියා ඉලක්ක කර ගනිමින් පුහුණුව ලබාදීම එමගින් සිදු වෙනවා. එදා එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් එය අප නැවත ගෙන ආ යුතුව තිබෙනවා. එමඟින් අපට විධිමත් තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. දැනට අපේ රටේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් පමණ තිබෙනවා. මේ සියල්ල වෘත්තීය විද්‍යාල බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. අධ්‍යාපන දැනුම පමණක් නොවෙයි ක්‍රීඩා, සංස්කෘතික වැනි ක්‍රියාකාරකම් ද මීට ඇතුළත් වෙනවා.

මෙලෙස නව වැඩපිළිවෙළක් ඔස්සේ අනාගතයට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකළ යුතුයි. මෙරට කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින අවස්ථාවේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගෙන යා හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍යයි. අප ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා.

උතුරුමැද පළාතේ හිටපු විපක්ෂ නායක සහ සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා

මෙරට අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විවිධ යුගවල සිදු කළ සේවාව ඉතිහාසයගත වෙනවා. එදා විද්‍යාපීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල ආරම්භ කරමින් එතුමා මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා. අද එතුමා 21 වන සියවසට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කිරීමට කැපවී සිටිනවා. ඒ වගේම දරුවන්ට අනාගත ලෝකයේ දොරගුළු විවර කර දීමට ඔවුන් නවීන තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ විශිෂ්ට බව කිව යුතුයි.

t

o

p