කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික කොමිෂන් සභාවක්

September 8, 2023

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කරන ලදි.

උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් බවද ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පවසන ලදි.

මේ අදහස් පළවූයේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් මහත්මිය සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසූවේ වර්තමානයේදී කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවත් ලංකාවේ කාන්තාවන් සහ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා තුළ විශාල උනන්දුවක් පවතින බවයි.

එමෙන්ම, දේශපාලනය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. කාන්තාවන් දේශපාලන ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමට හිතකර වාතාවරණයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අදහස් පළවිය. සිය දරුවන් සුරක්ෂිතව රඳවා තැබිය හැකි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මන්ත්‍රීවරියන් සිය අදහස් දැක්වූ අතරම ඒ පිළිබඳ නවසීලන්තය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඉතා වැදගත් ආදර්ශ සපයන බවද මෙහිදී අවධාරණය විය.

ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරියන් මෙන්ම අනෙකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර සම්බන්ධතාවන් ගොඩනැගීමට තමා උත්සහ කරන බව වනුෂී වෝල්ටර්ස් මහත්මිය මෙහිදී සඳහන් කරන ලදි.

t

o

p