ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස ඩලස් අලහප්පෙරුම පත්වෙයි

September 7, 2023

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයන් වන චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී. නියෝජ්ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ, මධුර විතානගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් තෝරා පත්කර ගන්නා ලදී.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමට උපදෙස් ලබාදෙන ලදී. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්දයෙන් කමිටුවට අවබෝධයක් ලබගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට සිදුකර ඇති අවසන් ජන සංගණනය 2012 වසරේ සිදුකර ඇති බැවින් වර්තමානයේ කොපමණ ආබාධ සහිත තැනැත්තන් සිටිනවාද යන්න පිළිබඳ යාවත්කාලීන දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවයද සභාපතිවරයා සිහිපත් කළේය.

පක්ෂ භේදයෙන් තොරව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සියලුම දෙනා කටයුතු කලයුතු බවද සභාපතිවරයා මෙහදී අවධාරණය කළේය.

මෙරට සිටින ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ගැන විපක්ෂ නායක සජිත් ෙප්‍ර්මදාස මහතා කමිටුව හමුවේ කරුණු ඉරිපත් කළේය. ඒ අනුව අදාල දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් මගින් ආරම්භ කළ හැකි බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පාව නොව අයිතීන් ලබාදීම අරමුණු කරගෙන කටයුතු කලයුතු බවට මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් ප්‍රකාශ කළහ.

t

o

p