පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුවෙයි

September 5, 2023

මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව පසුගියදා පැවති ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය.

පාසල් ළමුන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව මෙරට ජනතාව අන්තර්ජාලය ඔස්සේ නව මාධ්‍ය ක්‍රම හරහා දැනුවත්කිරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. සංසදයේ සභාපතිනිය නිලධාරීන්ගේ උත්සාහය අගය කරමින් කියා සිටියේ මෙම වැඩසටහන සදහා සංසදය පූර්ණ සහය ලබාදීමට අපේක්ෂා කරන බවයි.

සමාජයේ විවිධ කණ්ඩායම්වලට උචිත පරිදි වඩා හොඳ අවබෝධයක් ලබා දීම සඳහා ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනයට අදාළ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය.

ළමුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. තවද දරුවන්ට තම ගැටලු අප්‍රකටව ඉදිරිපත් කළ හැකි පැමිණිලි පෙට්ටිය පාසැල්වල නැවත හඳුන්වා දීම පිළිබඳව ද කමිටුව සොයා බැලීය.

ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වයට අදාළ නෛතික තත්ත්වය පිළිබදව ද කමිටුව විසින් සොයා බලන ලදී. සයිබර් අපරාධ වැළැක්වීම සදහා පනත් කෙටුම්පතක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත් හෙළි විය. ළමා අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි, ෆේස්බුක් පිටු ඇතුළු බොහෝ වෙබ් අඩවි ක්‍රියාත්මක බවත් ඒවා නැවැත්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් අවධානය යොමුවිය.

ළමුන් සම්බන්ධ සිද්ධීන් පිළිබඳ බොහෝ මාධ්‍ය වාර්තා ඉතා සදාචාර විරෝධී මට්ටමක පවතින බැවින් බැවින් විධිමත් මාධ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබදවද සාකච්ඡා විය.

t

o

p