රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක්

August 26, 2023

කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශයකට අනුව සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් පිළියෙල කළ ජාතික උපාය මාර්ගික සැලැස්ම කමිටුවට ඉදිරිපත් කරන ලදි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට භාරදීම සිදුවූයේ කළමනාකරණය සදහා කීර්තිමත් නාමයක් සහිතවූ බැවින් සහ එය පාර්ලිමේන්තුව විසින් එම විශ්ව විද්‍යාලයට ලබාදුන් ගෞරවයක් ලෙස සැලකිය යුතු බව කමිටු සභාපතිවරයා පැවසීය. එසේම මෙම කටයුත්ත සදහා කැපවූ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, ජේෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් විශේෂ ස්තූතිය පුදකරන බව ද කමිටු සභාපතිවරයා සදහන් කළේය.
එක් එක් විශ්ව විද්‍යාලවලට අනන්‍යවූ වෙනම තත්ත්වයන් ඇති බැවින් ඒ සියලු දේ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කෙටුම්පත අනුව කටයුතු කිරීමේ හැකියාව ඇති බව ජේෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇති පසුබිමක සති දෙකක් තුළ කාර්ය සාධක බලකායක් පත් කොට මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට කාරක සභාවට දැනුම් දුන්නේය.

ඇතැම් කුඩා ශීෂ්‍ය කණ්ඩායම්වලට සමස්ත විශ්වල පද්ධතියම කඩා වැට්ටවීම සදහා ඉඩ නොදිය යුතු බවටත් කෝප් සභාපතිවරයා කරුණු පෙන්වා දුන්නේය. එසේම විශ්ව විද්‍යාලවල ගුණාත්මක බව පවත්වා ගැනීමට ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද වගකීමක් පවතින බවත් කෝප් සභාපතිවරයා පැවසීය.

එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් 50%ක් පමණ හෝ පර්යේෂණ විශ්ව විද්‍යාල බවට පත්විය යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරු 12992 ක් සිටිය යුතු වුවද මේවන විට සේවයේ නියුක්ත වන්නේ ආචාර්යවරු 6548ක් බව ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා පැවසීය. එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද මෙම තත්ත්වය දැකිය හැකි බැවින් මෙය විසදාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. එසේම මෙරට ආර්ථික අර්බුදය සමග ආචාර්ය මහාචාර්යවරු රට හැර යාම ගැටලුවක් බවට පත්ව ඇති බවත් අවම වශයෙන් 1000ක ආචාර්යවරු ප්‍රමාණයක් බදවා ගත යුතු බවත් වි.වි. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

t

o

p