මහනුවර දළදා පෙරහැරේ අලි කුලප්පුවට හේතුව

August 23, 2023

ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ පැවති දෙවන කුඹල් පෙරහැර අතරතුර ඇතුන් කිහිප දෙනෙකු නොසන්සුන් වීමෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

අදහස් දැක්වූ හස්ති පාලක අශෝක චන්ද්‍රසිරි මහතා,

“දළදා පෙරහරේ කතරගම දේවාල පෙරහැරේ කරඬුව වැඩම කරන හස්තියා සමඟ වම් පසින් දෑලේ ගමන් ගත් අලියා පත්තිරුප්පුව ඉදිරිපිටට එනතෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැග දළදා වීදියට ප්‍රවිෂ්ඨ වෙද්දී අලියා වැව අද්දර යකඩ වැටට එහායින් වාඩිවී පෙරහර නරඹමින් සිටි ජනතාව දෙසට හොඬය දාලා ඉව ඇල්ලුවා. ඒත් එක්කම එතන හිටිය ළමයෙක් පිඹිනවිට කොටසක් දිග ඇරෙන නළාවක් පිම්ඹා. ඒකේ ශබ්දයත් එක්කම නළාවේ ඉදිරි කොටස අලියගේ හොඬයේ වැදුණා. අලියා බය වෙලා පැත්තකට හැරෙද්දී එයාගේ ඔළුව කරඬුව වැඩම කළ අලියා ගේ ඔළුවේ වැදුණා. ඒත් එක්කම කලබල වූ අලියා වීදිය දිගේ ඉදිරියට දිව ගියා”

“මේ අලියා අවුරුදු 25 ක් පමණ පෙරහැරේ ගමන් කරනවා. කලබලයක් නැති කිසිම කෙනෙකුට හානියක් නොකරන සතෙක් මෙයා. ඉකුත් කතරගම පෙරහරේ දෑල ගමන් ගත්තේත් මෙයා වැව අද්දර දිගේ ජනතාව ඉටි කොළ එලාගෙන යකඩ වැට ළඟින්ම ඉන්නවා. ඒ පැත්තේ කෙළවරේ යන අලි හොඬය ඒ දෙසට යොමු කරනවා. ඒ වෙලාවේ තමයි කුඩා ළමයා පිඹපු නළාවේ ඉදිරි කොටස හොඬයේ වැදුණේ. ඉදිරියට දිවගිය අලියා පිටේ සිටි දෙන්නා ගෙන් එක් කෙනෙක් මම බස්ස ගත්තා. අනෙක් කෙනා පහළට පැන්නා. කාටවත් මේ සිද්ධිය නිසා අනතුරක් වුණේ නැහැ. පෙරහැර ආසන්නයේ ඉඳලා සමහරු නළා පිඹිනවා. තවත් අය ලේසර් කිරණ අල්ලනවා. ජංගම දුරකතන වල ෆෑලෑසර් එක අල්ලනවා. මේවා නිසා සමහර අලි කලබල වෙනවා. සමහර අලින්ට මේවා හුරුයි.”

දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා මෙසේ පැවසීය,

“පෙරහැර වීදී සංචාරය කරන අවස්ථාවේ ලොකු ශබ්ද කරන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහනුවර පෙරහැරේ දී අලි කුලප්පුවක් සිදුවුණේ නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. එක අලියෙක් බයවෙලා දිව්ව නිසා තවත් අලි කිහිප දෙනෙක් කලබල වුණා. කලබල වූ අලි හතර දෙනෙක් අල්ලලා බැඳ දැමුවා. එම අලි ඉවත් කරලා පෙරහර වීදී සංචාරය කළා. ඇත් ගොව්වන්ට හෝ ජනතාවට කිසිදු පහරදීමක් වෙලා නැහැ. කලබල වී නොසන්සුන් ලෙස හැසිරුණු සියලු අලි ඇතුන්ට විවේකයක් ලබා දුන්නා. අපි පෙරහැරට අලි ගේන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරලයි. පෙරහැරට ආවට පස්සෙත් පරීක්ෂා කරනවා.”

t

o

p