නුවර වැව රක්ෂිතයේ පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

August 8, 2023

දැඩි නියං කාලගුණයත් සමඟ වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතයේ ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති.

අනුරාධපුර කීරියගස් හන්දියත්, ඉච්චන්කුලම මෙත් හිමි මාවතත් අතරමැද ඇති නුවර වැවේ මෙම රක්ෂිත කොටස කපා දැමූ විට පෞද්ගලික සංචාරක හෝටල් දෙකකට සහ සංචාරක නිවාඩු නිකේතනයකට, අනුරාධපුර පූජා නගරයේ ඇති රුවන්වැලිසෑය, මිරිසවැටිය, සඳහිරු සෑය, ජේතවනාරාමය සහ ථූපාරාම චෛත්‍යය මනාව දර්ශනය වන බවත් මෙම රක්ෂිත කොටස කපා දැමීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවටත් ගම්වාසීහු සැක පළ කරති.

මේ වන විට නුවර වැවේ පෝෂිත ප්‍රදේශයේ ඇති වසර 70කට වැඩි විශාල ප්‍රමාණයේ වඳවී ගෙන යන තිබිරි ගසක මුලට ගින්දර දමා එම ගස බිම වට්ටා දමා ඇති බවත් ජාවාරම්කරුවන් දිනකට එක ගස බැගින් ‘මයිල‘ ගස් කීපයක් යාන්ත්‍රික කියත් ආධාරයෙන් සූක්ෂම ලෙස බිම හෙළා ඇති බවත් ඔවුහු පවසති. කූට ලේඛන හදමින් පසුගිය කාලය පුරා වැව රක්ෂිතයේ ඉදි කෙරුණු සංචාරක හෝටල්වල ප්‍රතිඵලයක් ලෙස වෙනත් වසරවලට වඩා මේ වන විට සීඝ්‍රයෙන් වැවේ ජලය සිඳී යන බව වැසියෝ පැවසූහ.

මෙම වන විනාශයට අදාළ ඡායාරූප ලබා ගැනීමට එම ස්ථානයට යන විටත් ඊට පැය කිහිපයකට පෙර ඉත්තෑවෙකු මරා, ඉත්තෑ කූරු එම ස්ථානයේ දමා මස් රැගෙන ගොස් තිබූ ආකාරයද, ලේ පැල්ලම් විශාල ප්‍රමාණයක් අඩංගු හිස් පොහොර බෑගයක් ද මෙහිදී ගම්වාසීහු පෙන්වූහ.

අනුරාධපුර නගරයට, පූජා නගරයට පානීය ජලය ලබා ගන්නා, ප්‍රදේශවාසීන් බැතිමතුන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයන් රැසක් දිය නෑමට භාවිත කරන අනුරාධපුර නුවර වැවට මේ සිදු කෙරෙමින් ඇති විනාශය සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ගම්වාසීහු පෙන්වා දෙති.

t

o

p