ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ වෘත්තිය ගරුත්වය සුරකින බවට මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය ප‍්‍රතිඥා දෙයි

December 23, 2014

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන

රාජ්‍ය සේවකයන් සඳහා සහන රැසක් ලබාදීමට පියවර ගන්නා බවට පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දෙයි. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කෙරේ. පළමු අදියරේදී රුපියල් 5,000ක් පෙබරවාරි මාසයේ සිට ලබාදීම සැලසුමයි. රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය සහ කාර්යාල සේවයේ තෘප්තිය සහ ඵලදායිත්වය වර්ධනයට ද ක‍්‍රියාමාර්ග ගැනේ. කළමනාකරණ විධි ක‍්‍රමය හා පරිපාලන රටාව නව පරිවර්තනයකට ලක්කරන බවද මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි දැක්වෙයි.

රාජ්‍ය සේවයේ සියලු බඳවාගැනීම් විභාග ක‍්‍රමයක් මත පදනම් ව කුසලතාව මත සිදු කිරීමට නව රජයක් යටතේ පියවර ගැනේ. දින 180ක් සහ බඳවාගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කළ කොන්ත‍්‍රාත් හා අනියම් සේවකයෝ ස්ථිර කෙරෙති. දේශපාලන වහල් ක‍්‍රියාකාරකම් සඳහා යොදවාගෙන ඇති උපාධිධාරීන් විධිමත් සේවා ආයතන වලට අන්තර් ග‍්‍රහණය කිරීම පියවර ගැනේ. ඔවුන්ට සරිලන උසස්වීම් පරිපාටියක් ස්ථාපනය කිරීමට ද මෛත‍්‍රී පාලනයක් යටතේ ක‍්‍රියා කෙරෙන බව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පෙන්වා දී තිබේ.

අර්ධ රාජ්‍ය සේවය හා බැඳුනු ආයතනවල අදාළව නව නීති සකස් කෙරේ. රැකියා කොන්දේසී උල්ලංඝනය නොවන පරිදි සාමයක් පවත්වා ගැනීමට ඒ යටතේ පියවර ගැනේ. සේව්‍ය සේවක සම්බන්ධතා සාකච්ඡා මාර්ගයෙන් සිදුවන, කල්පවත්නා තත්වයකට පත්කිරීමට කි‍්‍රයාකරන බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දෙයි. එමගින් අර්ධ රාජ්‍ය සේවය හා බැඳුනු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරකින බව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පෙන්වාදී තිබේ.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය බැංකු, බලශක්තිය, ජල සම්පාදනය, වරාය, ගුවන්තොටුපොල, ප‍්‍රවාහනය ආදියට සම්බන්ධ රජයේ ආයතන කළමනාකරණය විධිමත් කෙරේ. ඒ සඳහා නව සැලැස්මක් ක‍්‍රියාවට නංවන බවද මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි දැක්වෙයි.

රාජ්‍ය බුද්ධි අංශ දේශපාලන හා සිවිල් කාර්යවලට මැදිහත් කිරීම නීතිමය වශයෙන් තහනම් කෙරේ. ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීයේ ගෞරවයට ගැලපෙන කාර්යයවලට යොමුකරවීමට  පියවර ගැනේ. දේශපාලන නායකයන්ගේ නිවෙස්වෙල ආරක්‍ෂක අංශ සාමාජිකයන් බැල මෙහෙවර වල නිරත කරවීම අත්හිටුවීමට ක‍්‍රියාකරන බවද පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පෙන්වා දෙයි. දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ තනතුරු සහ අයිතිවාසිකම් යලි ලබාදීමට ද නියමිතයි.

රජයේ ජනමාධ්‍ය සමබර සේවාවක් සහිත තත්ත්වයට පත්කිරීමද මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති යටතේ සිදු කෙරේ. රට පාලනය කරන දේශපාලන පක්‍ෂයේ ප‍්‍රචාරක අවියක් බවට වර්තමානයේ රජයේ ජනමාධ්‍ය පත්ව තිබේ. එම තත්ත්වය පාලනය කිරීම මෛත‍්‍රී පාලනයක් යටතේ සිදු කෙරෙන බව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පෙන්වා දී ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කෙරෙන යාන්ත‍්‍රණයක් සකස් කෙරේ. මාධ්‍ය සංවර්ධන ප‍්‍රතිපත්තියක් බලගැන්වීමට ද ක‍්‍රියා කෙරේ.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p