නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කරනවා – කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර

June 14, 2023

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එහි දී, නව අදහස් ලබාගෙන අලුත් කම්කරු නීතියක් ඉදිරිපත් කිරීමට කටයුතු ක‍රන බවත්, සේවා ස්ථානය තුළ වෙනස්කොට සැලකීම වැලැක්වීමට නීති ගෙන ඒමටත් කටයුතු කරන බව හෙතෙම පැවසීය.

එමෙන්ම, පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කර, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන බවත්, සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරන බවත්, සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සහ කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මෙන්ම පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන ගැනීම සම්බන්ධව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම, අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දීමටත්, නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දීමටත්, විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේ දී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒම සහ නියාමනය කිරීම සදහා නීති සකස් කිරීම කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

පුහුණුවන්නන්ට/ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මෙන්ම ඒ සදහා වන නිවරදි අර්ථනිරූපණ ලබා දීමට ද, ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වාදීමට ද, ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට ද මෙහි දී යෝජනා විය.

සේවකයින් විසින් සිදුකරන විශමාචාර ක්‍රියාවන්ට අදාල විනය කටයුතු නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම සදහා සේව්‍ය පාර්ශවය වගකියන ක්‍රමවේදයක් හදුන්වා දීමටත්, සේවකයින් සේවා ස්ථානයේ දී සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය.

දුර්වල කාර්යසාධනයන් මත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන විට සේවය අහිමිවන සේවකයින්ට වන්දි ලබාදීම හා එය වේගවත් සහ සරල කිරීම සදහා වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, අමුද්‍රව්‍ය නොමැතිකම, යන්ත්‍රසූත්‍ර නොමැතිවීම, ඇනවුම් නොමැතිවීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන හදුන්වාදීමටත් මෙන්ම, සේව්‍යයන් ස්වේච්ඡාවෙන් සේවය හැරයාමේ දී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට වන ප්‍රතිපාදන හදුන්වා දිමටත් මෙහි දී යෝජනා විය.

සේවා යෝජකයා සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති මගින් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත් කෙරෙහිද අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත්, වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සදහා සේවායෝජකයාට අනිවාර්ය කිරීම පිළිබඳවත්, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීමටත් කටයුතු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p