ඉදිරි සති දෙකේදී වැස්ස වැඩිවෙයි

June 6, 2023

නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි සති දෙකක කාලයේදී අඩු වැඩි වශයෙන් බස්නාහිර ඇතුළු පළාත් පහකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවැසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සහ වයඹ පළාතේ කුරුණෑගල, දකුණු පළාතේ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බවද ඔහු කීවේය.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අද (06 ) කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වඩා තද වැසි ඇතිවන බවත්, සබරගමුව පළාතට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වඩා තද වැසි ඇතිවන බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව, නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

t

o

p