පැකේජ් නෝනලා, සටන් විරාම මහත්වරුන්, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සමඟ සිරිසේන මහතා ගමන් කරන්නේ රට දෙකඩ කිරීමට නොවේ දැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි

December 22, 2014

පැකේජ් නෝනලා, සටන් විරාම මහත්වරුන්, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සමඟ සිරිසේන මහතා ගමන් කරන්නේ රට දෙකඩ කිරීමට නොවේ දැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ ඊයේ ( 21 ) දින මොණරාගල නගර සභා ක්‍රීඩාංගනයේදී පැවති ජන රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “  අළුතින් පට්ටම් ලබාගැනීමට වඩා තියෙන පට්ටම රැකගැනීම තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපාය වී තිබෙන්නේ.  ඒ නිසා එක පාරක් ෆොන්සේකා මේ පාර සිරිසේන හොයාගත් රනිල් වික්‍රමසිංහ මහත්තයට 2020 න් පස්සේ  එන ජනාධිපතිවරණය සඳහා  කොහේ හරි ඉන්න ගුණපාල කෙනෙක් හොයාගන්න කියලා අපි කියනවා.

යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අපේ අවසන් රාජධානිය වූ  කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීමට අධිරාජ්‍යවාදීන් කටයුතු කළේ ඉතාම උපායශිලීව. ඔවුන් ඒ සඳහා  පිළිමතලාවේ, ඇහැළේපොළ ආදී රදළවරුන් ඔවුන්ගේ පිළට බා ගනු ලැබුවා. ඒ වගේම ජෝන් ඩොයිලි වගේ සිංහල පන්නයට කටයුතු කළ ඉංග්‍රීසීන් ලවා විවිධ කටකතා පතුරුවනු ලැබුවා.  රජතුමා හා භික්ෂූන් වහන්සේව භේද කරනු ලැබුවා.  උඩරට රදළ ප්‍රජාව හා  රජතුමා භේද  කරනු ලැබුවා.  අන්තිමේදී ඇහැළේපොළ නිළමේතුමාගේ හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියන දෙදෙනාගේම ජීවිතවල අවසන් කාලය ගෙවුනේ ශ්‍රී ලංකාවෙන් එපිට රටවල් දෙකක හිර කූඩුවල. දැන් මේ  සුදු අධිරාජ්‍යවාදීන් හදන්නේ එදා ඒ සිදුවීමට අවුරුදු 200 ක් ගෙවෙන තැන ඒ සිදුවීම හා සමාන පාවාදීමක් යළිත් ජාතිය ලවා කරවා ගන්න. එදා ඇහැළේපොළ අහුවුණා අද සිරිසේන අහුවුණා. එච්චරයි වෙනස.

ජනාධිපතිතුමාව පරාජය කරන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් අද විපක්ෂයේ නැහැ. මොළේ කළඳක් හරි තියෙන විපක්ෂයේ කෙනෙක් ඔය මරාලෙට කරගහන්නෙත් නැහැ. අනිත්මට මොළේ නැති සිරිසේන මහත්තයව අරන් අපේක්ෂකකමට දාගත්තා.

එදා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ඉන්න කාළේ චන්ද්‍රිකා නෝනා සුනාමි  සහන මණ්ඩලයට අත්සන් කරන්න ගියා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වා හෙට රෑ 12 වෙනකොට තීරණය කරන්න ඕන ජනතා විමුක්ති පෙරමුණද? සුනාමි සහන මණ්ඩලයද? කියලා. ඒ වෙලාවේ චන්ද්‍රිකා මහත්මිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ උත්තර දුන්නේ සිරිසේන මහත්තයා. එතුමා කිව්වා අපිට ජනතා විමුක්ති පෙරමුණට වඩා සුනාමි සහන මණ්ඩලය වටිනවා කියලා. ඒත් අද සිරිසේනව ජනතා විමුක්ති පෙරමුණට  ලොකුවෙලා.

එදා වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම අරගෙන ජනාධිපති බලතල පාවිච්චි කළා. ව්‍යවස්ථාව අනුව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත්කරන්න පුළුවන් ජනාධිපතිට පමණයි. අගමැතිට ව්‍යවස්ථාවෙන් ඒ බලය නැහැ. ඒත් එතුමා අගමැතිකම අරගෙන චන්ද්‍රිකා ජනාධිපති පුටුවේ ඉන්නකොටම ඊනියා ගිවිසුම් අත්සන් කරලා මේ මව් පොළොව දෙකට බෙදන මෙහෙයුම ආරම්භ කළා.

දැන් කවුද ඒ පැත්තේ ඉන්න  කට්ටිය. එතන ඉන්නවා සුනාමි සහන මණ්ඩල නෝනා. පැකේජ් නෝනා.තවලම් නෝනා. සුදු නෙළුම් නෝනා. සටන් විරාම ගිවිසුම් මහත්තයා. මනෝ ගනේෂන් මහත්තයා. සම්බන්ධන් මහත්තයා. මේ කට්ටිය යුද්ධ කරන කාලේ යුද්ධෙට උදව් කරපු අයද? මේ කල්ලියට අළුත් සාමාජිකයො දෙන්න තුන්දෙනෙක් එකතුවෙච්ච එක විතරයි වුණේ.

එදා 1815 දී කළා වගේ 2015 දී මේ රට අල්ලා ගන්න ඒ අධිරාජ්‍යවාදී බලවේගවලට මේ රටේ බත්කන ජනතාව ඉඩ තියන්නෙ නැහැ කියන කාරණය අපට පැහැදිලියි.

අද ගමේ ඉන්න  යූ.ඇන්.පී. කාරයා කියන්නේ මොකක්ද? අපේ එකාගෙ කොන්ද පණ නැහැ කියලා තමයි ගම්බද යූ.එන්. පී. කාරයො කියන්නේ. ඒ නිසා අද ගම්වල පක්ෂ කාර්යාලයක් නැහැ. කොඩි වැලක් නැහැ. පත්‍රිකාවක් ගෙයින් ගෙට යන්නේ නැහැ. ගම්වල යූ.එන්.පී. කාරයො මේ සටන අතඇරලා ඉන්නෙ.

චන්ද්‍රිකා නෝනා ධූර කාල 2 ක් ඉඳලා කාලෙත් කාලා රටත් කාලා ලෙවත් කාලා ගියා.  ආර්ථිකේ සෘණ කරලා ගියා. යුද්ධයෙන් 75% ක් කළේ නෝනලු. ඒ කියන්නේ උදේ 9.00 වැඩේට හවස 3.00 ට අවධිවෙලා තමයි එයා යුද්දේ කළේ. හීනෙන් තමයි එයා යුද්ධ කරලා තියෙන්නේ.

සිගරට් පැකට් එකේ 80% ක් ලේබල් ගහන්න බැරිවෙච්ච සිරිසේන මහත්තයා අද චණ්ඩියා වෙලා. ලංකා ඉතිහාසයේ හදපු පනත නැතිකරගත්ත එකම ඇමති සිරිසේන මිසක් වෙන කවුරුත් නොවෙයි. පනතක් ආරක්ෂා කරගන්න බැරි සිරිසේන කොහොමද රටක් ආරක්ෂා කරන්නේ. ඊට පස්සේ කියයි  හුටා රට නැතිවෙලා කියලා. මේක ටයිප් රයිටරෙන් පනත් ගහන කාලයක් නෙමෙයි. මේක කොම්පියුටර් කාලේ.

දැන් හොඳ අලි සේරම මෙහෙ, වල් අලි සේරම එහෙ. තිස්ස අත්තනායක, තිස්ස කුට්ටිආරච්චි වගේ සේරම හොඳ අලි මෙහෙ. එහෙන් ආණ්ඩුවක් එනවා නම් යූ.එන්.පී. එකේ මහ ලේකම් මෙහෙට එයිද? එහෙම ආණ්ඩුවක් එනවා නම් මහලේකම්වරයාට දැනේනේ නැද්ද? එතුමට හොඳට ඉව තියෙනවා. එතුමා අවුරුදු 20 ගණනක් දේශපාලනය කරපු නායකයෙක්.

මේක අප්‍රේල් සිංහල අවුරුදු කාලෙ නෙමෙයි. ඒ කාලෙට තමයි ළමයි  විකට ඇඳුම්, කවට ඇඳුම් ඇඳගෙන එන්නේ. ජනාධිපතිවරණය කවට ඇඳුම් තරඟයක් නෙමෙයි. සිරිසේන මහත්තයා ඇන්දා මෝඩිට.  ඒක ඉන්දියාවට හරියන ඇඳුම්. මොඩිගේ ඇඳුම මොන මෝඩයද? මෙහෙ අඳින්නේ.  මොඩිගේ ඇඳුම අඳින මෝඩයන්ව  ජනාධිපති පුටුවට ගේන්න මෙහෙ කාටද? ඕනෙ. දැන් එයා හිතාගෙන ඉන්නේ එයා මෝඩිට ඇඳගෙන එනකොට, ජනාධිපතිතුමා ඔබාමාට ඇඳගෙන එයි කියලා. ජනවාරි 9 වෙනිදා වෙනකොට තේරෙයි සිරිසේන මහත්තයො ඔබට  තේරෙයි ඔබතුමා ඇන්දෙ මොඩිට නෙමෙයි ගොනාට කියන කාරණය.

සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශය ගැන අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. “ මෙතුමා දැම්මා නල්ලමලේ මැතිවරණ ප්‍රකාශයක්. මේකෙ කොලපාටත් නැහැ. නිල් පාටත් නැහැ. රතු පාටත් නැහැ. මේකෙ කුරහන් සාටකේ පාට විතරයි තියෙන්නේ. ඒකත් කොපිකරලා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා  තමයි පළමු වරට මේ රටේ මැතිවරණ ප්‍රකාශයක්  “ මම කරමි ”   , “ මම හදමි ” කියලා මම උක්ත කරලා කිව්වේ. මේකත් එහෙමයි ලියලා තියෙන්නේ.

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, කැබිනෙට් මණ්ඩලය ප්‍රමුඛ ඇගමැතිට බලය දෙනවා කියලානෙ මෙයා ආවේ. ඒත් මේ මැතිවරණ ප්‍රකාශයේ  එහෙම කියන්නේ නැහැ. දැන් එතුමා කියන්නේ කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ  විධායකයක් ගැන. දැනටත්  ජනාධිපති ඉන්නවා.  ජනාධිපතිගේ බලතල ඇමති මණ්ඩලයට කොටස් කොටස් පවරනවා. ඒ ඇමතිවරු  පාර්ලිමේන්තුවෙත් ඉන්නවා.  පාර්ලිමේන්තුවෙ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න අහනවා. උත්තර දෙනවා. ඉතිං මේක දැනටත් තියෙනවා. සිරිසේන මහත්තයො මේකෙ කරන්න  දෙයක් නැහැ දැනටත් තියෙනවා. ඊට අමතරව 18 වන සංශෝධනය අනුව ජනාධිපතිතුමා මාස 3 කට පාරක් පාර්ලිමේන්තු සැසියටත් සහභාගී වෙනවා. දැන් ඉතිං මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද? ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මොකද? වෙන්න ඕනෙ. නාම මාත්‍රික ජනාධිපති කෙනෙක් තමයි ඉන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයටයි, අගමැතිටයි යනවා විධායක බලය. ඒකයි නියම ක්‍රමය. එදා විලියම් ගොපල්ලව මහතා හිටියා ඒවා නාම මාත්‍රික තනතුරු. ඒදා අගමැතිටයි කැබිනට් මණ්ඩලයටයි මේ විධායක බලය තිබුණේ. ඒත් දැන් එහෙම කියන්නේ නැහැ. ජනාධිපති ක්‍රමයත් තිබේ. අගමැතිටත් ටිකක් බෙදනු ලැබේ. තව ටිකක් උප අගමැති කෙනෙකුටත් බෙදනු  ලැබේ. එකක් වැඩියි කියලා මෙන්න මේ තුනක් එනවා.

මේකද මේ රට ඉල්ලපු වෙනස. මේකද  සෝභිත හාමුදුරුවො ඉල්ලුප වෙනස. ජනාධිපති ක්‍රමය අඩුවක් දෙකක් ගලවලා ඒක ඉදිරියටත් ක්‍රියාත්මක කරගෙන යන්නද සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේලි මේ සටන් පාඨය වඩම්මවා අරගෙන ආවෙ.

දැන් සිරිසේන මහත්තයා කරුමෙටවත් දිනුවොත් එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ බල තල ටිකක් අඩු කරමු කියලා. එතකොට සිරිසේන මහතත්යා කියයි මම එහෙම කිව්වේ නැහැ. එහෙම කියන්න මට ඔළුවේ අමාරුවක් තියෙනවද? කියලා.

මේකෙ තියෙනවා තව හොඳ විහිළු. මෙයා ශ්‍රී ලංකාවේද ඉන්නේ කියලා සැකයි. මේකෙ 52 වන පිටුවේ තියෙනවා සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරීන් සියළුදෙනා ස්ථීර කරනු ලබනවා කියලා. සිවිල් ආරක්ෂක නිලධාරීන් සියළුදෙනාගේ සේවාවන් ස්ථීර කරලා ඉවරයි. ඔවුන්ට විශ්‍රාම වැටුප් අයිතිය දීලත් ඉවරයි. අයිත් කරන්න දෙයක් නැහැ. සිරිසේ ඒක දන්නේ නැහැ. නොදන්න කමට තමයි ඒ වගේ වගන්තියක් දාන්නේ.

ජනාධිපතිතුමා රුපියල් 250,000 ක් විතර විටින යතුරුපැදියක් සේවකයාගෙන් රුපියල් 50,000 ක්  අරගෙන දීලා තියෙනවා. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා  කියනවා ඒ ගෙවපු රුපියල් 50,000 ත් ආයිත් දෙනවා  තමන්ට කතිරෙ ගහන්න කියලා. මේක තුට්ටු දෙකේ ක්‍රමයක් නොවෙයිද?

දැන් දින 180 ට වඩා වැඩි කොන්ත්‍රාත් හා අනියම් සියළු සේවකයින් ස්ථීර කරන්නෙමි කියලා මෛත්‍රීපාල මහත්තයා කියනවා. දින 180 ට වඩා වැඩි සියළු සේවකයින් ස්ථීර කරලා  ඉවරයි. ජනාධිපතිතුමා අයවැයේදී ඒ තීන්දුව අරගෙන ඉවරයි.

උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය බැංකු, බලශක්තිය, ජල සම්පාදනය, වරාය, ගුවන්තොටුපළ, ප්‍රවාහනයට අදාළ රජයේ ආයතන විධිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ තමසෙක් ආකෘතිය  අනුරූපව සැලසුමක් ක්‍රියාත්මක කරනු ලැබේ. සිංගප්පූරුවේ  තමසෙක්  ආකෘතිය කියලා කියන්නේ මොකක්ද? සිංගප්පූරුවේ තමසෙක්  ආකෘතිය කියලා කියන්නේ  ඒ ආකෘතිය යටතේ ඒ ආයතනවල ඕනම සේවකයෙක්  පැය 24 න් එළියට දාන්න බලය තියෙන ක්‍රමයක්. රාජ්‍ය සේවකයින් මේවා නිවැරදිව තේරුම් ගත යුතුයි. එහිදී ඉහළ කළමනාකාරීත්වය දෙන්නේ ව්‍යාපාරික පැලැන්තියට.  ඉතිං මෙයා මේ කියන්නේ පුද්ගලීකරණය කරනවා කියන එක නොවෙයිද?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ දැන්වීමක් පසුගියදා පළ වුණා. දැන්නම් ඒක එතරම්  පළවෙන්නේ නැහැ. එහි තිබුණා කුඩු එතනෝල්වලට එරෙහි වෙමු කියලා. එහෙම කියපු හින්දා අපි හිතුවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු මොනවාහරි තියෙයි කියලා. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ කුඩු එතනෝල් ගැන පරීක්ෂණ පවත්වනවා කියලා විතරයි. ඉතිං පරීක්ෂණ  දැනුත් පැවැත්වෙනවා. දැනුත් ඒවා නීතියට අසුවන හින්දයි මාධ්‍යවල ඒ පුවත් පළවෙන්නේ. ඒ නිසානේ ජනතාව කුඩු, එතනෝල් ගැන දන්නේ. එහෙම අහුවෙන්නේ නැතිව හිටියා නම් ජනතාව ඒවා දන්නේ නැහැනේ ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ඇතුළු අති විශාල ජනකායක් සහභාගී වූහ.

21.12 monaragala

21.12 monaragala_1

t

o

p