හක්කිඳ ආරක්ෂක කලාපයේ පරිසර විනාශයක්

May 24, 2023

ම/ප/අ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ප්‍රකාශයට පත්කර ඇති පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් වන මහවැලි ගඟේ වරාතැන්න හක්කිඳ කලාපය තුළ මේ වන විට මහා විනාශයක් සිදු වෙමින් පවතින බව වරාතැන්න විමලබුද්ධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්දෙණියේ සමිත හිමියෝ පවසති.

සිදු වෙමින් පවතින මෙම පරිසර විනාශය පිළිබඳ පසුගියදා අප විසින් කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිත හිමියෝ මෙසේ ද කීහ.

“මේක දැන් ආරක්ෂිත කලාපයක් වුණාට දකුණු ඉවුරට හා වම් ඉවුර අවභාවිත කරමින් ලොකු පරිසර විනාශයක් වෙනවා. දකුණු ඉවුරේ හෝටල් ඉදිකරල ඒවායේ ටොයිලට් ගඟට හරවලා තියෙනවා. ඒකට කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ වගේම දැන් වම් ඉවුරෙත් එවැනි ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතිනවා. දැන් වම් ඉවුරට පස් බාන්න, ගොඩනැඟිලිවලින් කඩා ඉවත් කරන අපද්‍රව්‍ය බැහැර කරන්න පටන් අරන් තිබෙනවා.

මසට මරන හරකුන්ගේ අං තට්ටු, බොකු බඩවැල් පවා ගෝණි පිටින් ගෙනැල්ලා දාලා තියෙනවා. ඉතින් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ. අපිට පුළුවන් මේවා මාධ්‍ය මඟින් හෝ පෙන්වා දීමට විතරයි. එම නිසා මම ප්‍රදේශවාසින් වෙනුවෙන් ඉල්ලා සිටිනවා. මේ විනාශය දැන්වත් නතර කළ යුතුයි කියල. හක්කිඳ පාරිසරික ආරක්ෂක කමිටු සාමාජික පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

2017 වසරේ සිට අතිවිශේෂ ගැසැට් පත්‍රයක් මඟින් මේ ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයක් බවට පත්කරල තියෙනවා. තෙත් බිමක් විදිහට මහනුවර දිස්ත්‍රික්කයටම තිබෙන්නේ මේ කොටස විතරයි. මෙහි සියලුම කටයුතු සිදු කිරීමට පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට. දූපත් 20කින් සමන්විත මෙම සුන්දර පරිසරය අද වන විට විනාශ වෙමින් පවතිනවා. දැන් මෙහි සිදුවෙන අවිධිමත් ක්‍රියාවන් වැඩිවෙමින් පවතිනවා. විශේෂයෙන්ම මෙම කලාපය තුළ ගංඉවුරට කැළිකසළ සහිත පස් ගෙනැවිත් දැමීම වැඩි වැඩියෙන් සිදු කරනවා. වරාතැන්න සීමාමාලකය ආසන්නයට පමණක් එසේ පස් කියුබ් 200කට වැඩිය ගෙනැවිත් දමලා තිබෙනවා. එසේ පස් දැමීම නිසා ගන්නෝරු රක්ෂිත‍ෙයන් ගලා එන දිය පහරක්ද වැසී ගිහින් තියෙනවා. ගං ඉවුරට කැළිකසළ දැමීම තහනම් කියල සිටුවා තිබුණු නාම පුවරු ද එකක්වත් අද වන විට දක්නට නැහැ.”

එස්. ජී. විජේරත්න

කටුගස්තොට සමූහ

t

o

p