ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන්

March 31, 2023

ජාතික වැටුප් කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර, අද දිනෙන් එහි කටයුතු අවසන් කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි එම කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජාතික වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් සහ කර්තව්‍යයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරීමට තීරණය කර ඇති බව සඳහන්.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලට අදාළ සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පටිපාටි, වැටුප් සහ දීමනාවලට අදාළ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරෙයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභාවල සේවක සංඛ්‍යාවලට අදාළ කටයුතු සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අදාළ සේවක සංඛ්‍යා සහ ප්‍රතිව්‍යුහගතකරන බඳවා ගැනීමේ පටිපාටි මෙන්ම වැටුප් හා දීමනා සම්බන්ධ කටයුතු පැවරෙන්නේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතයි.

නව ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළව මෙතෙක් එම කොමිෂන් සභාව විසින් සිදුකළ කටයුතුවල ඉදිරි කාර්යයන් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.

t

o

p