සංගීත් නිපුන් සනත් නන්දසිරි ජීවන ගීයට සමු දෙයි

March 28, 2023

මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම අග්‍රගන්‍ය සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේදී අද අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට සනත් නන්දසිරි මහතා 81වන වියේ පසු වුණා. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.

දශක ගණනාවක් පුරා මෙරට සුභාවිත සංගීතය පෝෂණය කළ සනත් නන්දසිරි මහතා ගැයූ ගීත අදටත් මෙරට ජනතාවගේ සිත් සතන් තුළ සදා නොමැකෙන මතකයක්ව පවතියි.
සනත් නන්දසිරි මහතා ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු කුලපතිවරයෙකුද වෙයි.

මෙරට ගීත ක්ෂේත්‍රයට කිසිදා අමතක නොවන ගීත රැසක් දායාද කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගොතටුව ප්‍රදේශයේදී උපත ලබන්නේ 1942 පෙබරවාරි 15 වැනිදාය.

ගොතටුව මහා විද්‍යාලය, ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිස ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ඇතුළු සංගීත ක්ෂ්‍රේත්‍රෙය් භූමිකා රැසක් දිග්විජය කරන්නට සමත්වුණි.

දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට ශ්‍රාවකයාගේ සවන් මධුර හඬින් මුසපත් කළ ඔහු රසික හදවත් තුළ ජීවමාන කළ ගීත අතර, “මගේ රටට දළදා හිමි සෙවණයි…” අදටත් මෙරටට සෙත් පතන ගීත අතරේ ඉහළින්ම පවතී.

සුභාවිත ගීත කලාවත්, සරල තනු ගීත කලාවත් මැනවින් රසික හදවත් තුළ තැන්පත් කරන්නට සනත් නන්දසිරි මහතා සතුවූයේ අසීමිත හැකියාවකි.ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද නන්දසිරි මහතාය.

සනත් නන්දසිරි මහතා 1971 වසරේ දෙසැම්බර් 18 වනදා ගායිකා මල්කාන්ති නන්දසිරි සමග යුගදිවියට එළැඹුණි.ඔවුන් දෙදෙනාට දාව නිශාමනී අනුරාධා දියණිය උපත ලබන අතර ඇය ද ගායන ශිල්පිනියකි.

t

o

p