පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති කියයි

March 23, 2023

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පවසන ලදි.

ජනාධිපති මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන අය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

t

o

p