ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා මහතා යන දෙපළ විසින් 2021 වර්ෂයේදී සිදුකල අධ්‍යයනයකදී ප්‍රථම වරට මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකි විය.
2021 වර්ෂයේදී නව සොයා ගැනීමත් සමග භාතිය ගොපල්ලව මහතා විසින් පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එම කාර්ය සිදු කර පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන කාලය අතුර තුර ශාක පිලිබඳව පර්යේශණයේ යෙදෙන හර්ශ සම්පත් මහතා විසින් දෙවන වරට සිංහරාජය තුලින් සහ ලසිත ප්‍රගීත් මහතා හට තෙවන වරට කලවාන ප්‍රදේශය තුලින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකිව ඇත.
සිංහල භාෂාවෙන් මෙම පැළෑටිය හඳුන්වන නාමයක් තවමත් නොමැති අතර මෙරටට ආවේණික නව භෞමික උඩවැඩියා විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම පෑලෑටි විශේෂය සඳහා නොමැත. රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ නිසාවෙන් රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ප්‍රභේදයක් වූ පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට මෙම උඩවැඩියා විශේෂයේ පැහැය සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන්ම හමුවූ භෞමික උඩවැඩියා විශේෂයක් වීම, පුෂ්පරාග මැණික් තුල පවතින කහ පැහැය සහ රතුපැහැ අනුවර්ණය මෙම ශාක විශේෂයේ කහ පැහැති පුෂ්පයත් එහි මැද ඇති රතු පැහැයට සමාන වීම හේතු නිසාවෙන් පර්යේශකයන් විසින් මෙම ශාක විශේෂය නාමකරණයේදී ශාකයට අයත් විශේෂ නාමය ලෙස pushparaga යන නම යෙදීමට කටයුතු කර ඇත. එ් අනුව Gastrodia pushparaga යන විද්‍යාත්මක නාමය සහිත මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක රාජධානියේ Asparagales පෙළපතට අයත් Orchidaceae පවුලේ Epidendroideae උප පවුලට අයත් Gastrodieae ගෝත්‍රයේ Gastrodia ගණයේ G. pushparaga යන විශේෂයට අයත්වේ.
උඩවැඩියා විශේෂ අතරින් භෞමික උඩවැඩියා විශේෂයක් වන මෙම ශාක විශේෂය පරපෝෂී(Holomycotrophic ) ශාක විශේෂයකි මෙහි ශාක පත්‍ර දක්නට නොලැබෙන අතර පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්ත වේ. කහ පැහැති පුෂ්පය මැදට වන්නට ඇති රතු පැහැය පුෂ්පයේ අලංකාරය වඩාත් ඉස්මතු කරයි.
මෙම ශාක විශේෂය අයත් වන Gastrodia ශාක ගණය තුල ලෝකය පුරාම විශේෂ 95ක් පමණ වාර්තා වී ඇති අතර නව සොයා ගැනීමට අයත් ශාක විශේෂය සහ Gastrodia zeylanica, Gastrodia gunethilakeorum යන විශේෂ තුන පමණක් ලංකාවට අවේනික වේ. මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ සියළුම දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවනවා. පර්යේෂකයන්ගේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී මෙම සංඛ්‍යාව ඉහල යා හැකි අතර නව සොයා ගැනීම සිදුකල ශාක විශේෂය පිලිබඳව සකස්කල පර්යේෂණ පත්‍රිකාව 2023.03.14 වන දින අන්තර් ජාතික පර්යේෂණ පත්‍ර ප්‍රකාශයට පත්කරන www.biotaxa.org යන වෙබ් අඩවිය තුල ලෝකයට ප්‍රකාශයට පත්කිරීම සිදුවිය. එය ලංකාවේ වටිනාකමට මෙන්ම ලංකාව තුල සිදුවූ ශාක පර්යේෂණයන්ට විශාල වටිනාකමක් එක්කිරීමටද හැකිවිය.
මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා මහතා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), Dr.Pankaj Kumar(Curtin University,Australia), Prof.Mark Chase(Kew Botanic Gardens,England) යන මහත්ම මහත්මීන්ගෙන් යුක්ත විශාල කණ්ඩායමක සහයද ලැබී ඇත. කෙසේ නමුත් දැනට ලංකාව තුල සිදුවන සීඝ්‍ර වන විනාශයන් නිසාවෙන් මෙවැනි ශාක විශේෂ හඳුනාගැනීමටත් ප්‍රථම ලෝකයෙන් තුරන්වීම සිදුවන අතර ලංකාව තුල පවත්නා වනාන්තර පද්ධති සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම සිදුකල යුතුවේ.. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.
පේශල පසන් කරුණාරත්න