වර්ජනයෙන් ප්‍රවාහනයට බාධාවක් නැහැ

March 15, 2023

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (15) ක්‍රියාත්මක වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන්ම ඇතැම් දුම්රිය වෘත්තීය සමිති සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති සහය පළ නොකරන බව ඊයේ ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත් දුම්රිය සේවකයින් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් මේ වනවිට ආරම්භ කර තිබේ. අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද(15) සිට අවලංගු කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරාර්ජිත් සිං ප්‍රකාශ කළේ සංගම් 5 ක් මෙම වර්ජනයට සහය නොදක්වන අතර ඔවුන් හෙට දිනයේ සියලුම ශ්‍රී ලංගම ඩිපෝවල බස් ගමනාගමන කටයුතුවල නිරත වන බවයි.

එමෙන් ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දීප ව්‍යාප්තව අද දිනයේ දී පෞද්ගලික බස් රථ 13,000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයේ යෙදෙන බවයි.

වෛද්‍ය වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, බාහීර රෝගි අංශය හා සායනික අංශය හැර සෙසු සියලු ම අංශ පාහේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වෛද්‍ය වෘත්තීය සංගම් පවසයි.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නො තකා දුම්රිය සේවකයින්ගේ කැප වූ සේවයේ ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන 8.00 වන විට මගීන්ගේ පහසුව සඳහා දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

t

o

p