ශ්‍රී ලංකාවේ ආදායම් බදු වැඩිකිරීම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩාවන් හේතුවෙන් විඳිනු ලබන දුෂ්කරතා පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඔවුන්ට ඇති බව එම ලිපියේ සඳහන්.
මෙම ආර්ථික අවකළනය හේතුවෙන් සිදුව ඇති ජීවන වියදම වැඩිවීම, රැකියා සහ ජීවනෝපාය අහිමි වීම සහ සැබෑ ආදායම පහත වැටීම ජනගහනයෙන් විශාල කොටසකට, විශේෂයෙන් මෙම දුෂ්කරතාවලට ඔරොත්තු දීමට විකල්පයක් නොමැති දිළිඳු සහ අවදානමට ලක් වූවන්ට දැඩි පීඩාවන් සිදු කර ඇති බවයි එම වාර්ථාවේ සඳහන් වන්නේ.
වත්මන් ආර්ථික අර්බුදයේ මූලාරම්භ ගණනාවක් ඇති අතර, එහි ප්‍රධානතම දුර්වලතාවක් වන්නේ ආදායම් එකතු කිරීම් හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව බවයි.
මෙය කෙතරම් පහළ මට්ටමක පවතින්නේ ද යන්න පෙන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ 2021 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම 7.3% ක් පමණක් වන බවයි.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තවත් වාර්තාවක දැක්වෙන්නේ ඉහළ සංවර්ධිත සහ සංවර්ධිත රටවල් ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය අනුව ජාතික ආදායමෙන් 17%ත් 18% ත් අතර ප්‍රතිශතයකින් ඔවුන්ගේ බදු පැනවීම් පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත් අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති කරගත් මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණයහිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට කැමති නොවන බවත් එම ලිපියේ සඳහන්.
ආදායම් සහ වියදම් අතර මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීමට බදු ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි.
කෙසේ වෙතත්, බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරනා ආකාරයෙන් එය සිදු කළ යුතු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අත්‍යාවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබා දීම ද වැදගත් වන්නා සේම, පුද්ගලික ආදායම් බද්ද සඳහා වන නව බදු අනුපාත කාලසටහන ද ඇතුළුව බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බදු පැකේජය මෙම අරමුණු සපුරාලීමට උපකාරී වන බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.