කුකුළු නිෂ්පාදන කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

February 20, 2023

මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ස්ථිර වශයෙන්ම හිස ඔසවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට කුකුළු පාලන කර්මාන්ත ආශ්‍රිතව එහි නිෂ්පාදන ඉහළ නැංවීම හා කිරි හා අනෙකුත් සත්ත්ව නිෂ්පාදන පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණ කළ බවයි කාෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඉකුත් වසරේ පැවැති සත්ත්ව ආහාර හිගකම, මව් සතුන් ආනයනය නතර කිරීම, පොහොර හිගය හේතුවෙන් මෙරට බඩඉරිගු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිගු ආනයනය නතර කිරීම හේතුවෙන් කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන පහළ වැටුණු බවයි එහිදී සඳහන් කෙරුණේ.

කෙසේවෙතත් පසුගිය වසර අවසන් වනවිට මව්සතුන් 36,000 ක් ආනයනය කර ඇති අතර ඉකුත් දෙසැම්බර් මාසය වනවිට බඩඉරිගු මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ 78,000 ක් ආනයනය කර ඇත.

එමෙන්ම මෙම වසරේ යළ කන්නයේ සහ මහ කන්නයේ බඩඉරිගු මෙටි්‍රක් ටොන් ලක්ෂ 03 ක ඉලක්කයක් ඇතිව වගා කටයුතු සංවිධාන කර තිබීම හේතුවෙන් සත්ත්ව ආහාරවල හිගයක් ඇතිවීමට ඉඩක් නොමැති බව ද එහිදී අනාවරණ වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 60,000 ක බඩඉරිගු වගා කර ඇති අතර රටට අවශ්‍ය තරම් සහල් තොග ද පවතින බැවින් පැරණි සහල් සහ වී තොග සත්ත්ව ආහාර සඳහා යොදාගත හැකි බැවින් සත්ත්ව ආහාරවල හිගයක් ඇති නොවන බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එහිදී පවසා තිබේ.

මෙම සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී ඇත්තේ ආසියානු කලාපයේ කුරුළු උණ වසංගතයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව බැවින් ජාත්‍යන්තර වෙළඳපල තුළ මෙරට සත්ත්ව නිෂ්පාදන ප්‍රවර්ධනයට එම කීර්තිනාමය යොදාගත හැකි බවයි.

t

o

p