ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට සහතික වී තිබේ.
ඒ ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්යක්ෂ ෂියලි රයිසින් ඇතුළු දූත මණ්ඩල සාමාජික පිරිසෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්.
ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බව ද, පිරිමි සාත්තු සේවකයින් සදහා පවන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් බව ද මෙහි දී නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේ දී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද එම නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියි.
එමෙන්ම සාත්තු සේවක රැකියා සදහා බදවා ගැනිමේ ක්‍රමවේදය වේගවත් කිරීම, රැකියා සදහා පිටත්ව යාමේ මූලික සුදුසුකම් සපුරා ඇත්ද යන්න, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය, මෙන්ම වෘත්තීමය වශයෙන් පුහුණුව ලබාඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම විටම ඊශ්‍රායල් රැකියා අවස්ථා සදහා අවස්ථාව ලැබෙන බව ද මෙහිදී ඊශ්‍රායල් නියෝජිතයින් පෙන්වා දී තිබේ.
ඒ අනුව සුදුසුකම් සපුරණ අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට වසරක දී අවස්ථාව ලබාදීමට සූදානම් බවද මෙහිදී ඊශ්‍රායල් නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දෙන ලදි.
විනිවිධභාවයකින් යුත් ක්‍රියාදාමයක් හරහා සාත්තු සේවිකාවන් පිටත් කර යැවීමේ වැදගත්කම මෙහි දී දෙපාර්ශ්වයම පෙන්වා දුන්නා.
ඊශ්‍රායල සාත්තු සේවිකාවන් බදවා ගැනීමේ ක්‍රියාදාමයේදී පුද්ගලික අංශය මාෆියාවක් ලෙස කටයුතු කරන ආකාරය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර බදවාගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් එරට සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට එල්ලවන චෝදනා ගැනද අමාත්‍යවරයා මෙහි දී කරුණු පැහැදිළි කළා.
සාත්තු සේවිකාවන් බදවා ගැනීමේ අවස්ථාවන් පුද්ගලික අංශයට විවෘත කරන ලෙසට අමාත්‍යවරයා ඊශ්‍රායල නියෝජිතයින්ට කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නියෝජිත කණ්ඩායම පැවසුවේ සාත්තු සේවිකාවන් බදවා ගැනීමේ ක්‍රියාදාමය රාජ්‍ය ආයතනයක් වන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත පමණක් සිදුකිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සදහා කිසියම් අතරමැදියෙක් මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු තමන්ට ලබාදෙන ලෙසට ද ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ නියෝජිත කණ්ඩායම මෙහි දී ඉල්ලා සිටියා.
එසේ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවටද සහතික වූ ඔවුන් පවසා සිටියේ ශ්‍රමිකයින් බදවා ගැනීමේ ක්‍රියාදාමය හරහා මුදල් ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඊශ්‍රායල නීතිය අනුව උපරිම ක්‍රියාමාර්ග ද ගන්නා බවයි.
මෙහි දී මේ වන විට ලංකාවට අහිමිවී තිබෙන කෘෂි අංශයේ රැකියා අවස්ථා විවෘත කරගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අවධානය යොමු කළ අතර එය මේ අවස්ථාවේදී විවෘත නොවන බවයි ඊශ්‍රායල් නියෝජිතයෝ සදහන් කළේ.