පෙළපොත් මුද්‍රණයට රුපියල් බිලියන 16කට අධික මුදලක්

February 16, 2023

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළ ව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16කට අධික පිරිවැයක් රජය දැරූ බවත් එය පෙර මෙන් සිව් ගුණයට අධික මුදලක් බවත් පැවසී ය.

මෙවර ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22ක් මගින් මුද්‍රණය කරනු ලබන බවත් පැවසූ අමාත්‍යවරයා මූලික අත්තිකාරම් මුදලක් පමණක් ලබා පෙළපොත් මුද්‍රණයට ඉදිරිපත් වූ මෙරට පෞද්ගලික මුද්‍රණාලවලට මෙහි දී සිය කෘතවේදීත්වය පළ කළේ ය.

මුල් අදියරේ දී දුෂ්කර පළාත්වලට පෙළපොත් බෙදා හැර අනතුරු ව අගනුවර ආශ්‍රිත පාසල්වලට පෙළපොත් බෙදා හැරීම සිදු කරන බවත් පැතිරගිය දූෂමාන ආරංචි හා ආර්ථික අභියෝග ජයගනිමින් රජයේ සියලු පාසල් හා රජයේ ආධාර ලබන පාසල්වලට මෙන් ම පිරිවෙන්වලට ද නිසි කලට පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසූ අමාත්‍යවරයා වරින් වර අවශ්‍ය මුදල් ලබා දෙමින් භාණ්ඩාගාරය විසින් ලබා දුන් සහාය අගය කරමින් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන් ම ඉදිරියේ දී පෙළපොත්වල වර්ග හැඩ වෙනස් විය හැකි අතර එය එක වර නොව ක්‍රමානුකූල ව සිදු කරන බවත් මොඩියුලර් හඳුන්වා දී මේ වර්ෂයේ නියමු ව්‍යාපෘතියෙන් පසු ඉදිරි වර්ෂයේ දී අදියර තුනකින් ක්‍රියාවට නංවන බවත් මේ වර්ෂයේ දී පළවෙනි වාරයේ දී තොරතුරු තාක්ෂණ විෂය යාවත්කාලීන කරන අතර ම ප්‍රාථමික පන්ති සඳහා, ඉංග්‍රීසි භාවිතයෙන් ආරම්භ කිරීමට ගුරුවරුන් 13,700ක් මේ වන විට පුහුණු වෙමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය මාස කිහිපය තුළ සැලසුම් කළ මේ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන් සියල්ල මේ වන විට ක්‍රියාකාරී මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද කියා සිටියේ ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සහ අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා මෙන් ම අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ඉසඩ්. තාජුදීන් මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

t

o

p