මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට පියවර ගැනීම අතිශය දුෂ්කරයි – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

February 8, 2023

පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම අතිශය දුෂ්කර කරුණක් වී ඇති බව මැතිවරණ කොමිසම විසින් ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සමකට අදාළව දිවුරුම් පෙත්සමක් ලබා දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා විසින් මේ බව දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ කටයුතුවල යොදවන වාහන සඳහා සහ මැතිවරණ ලේකම් කාර්යාලවල ඇති විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉකුත් ජනවාරි 09 වැනිදා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

අනතුරුව මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන, විදුලිය, ජලය, දුරකතන පහසුකම් සැපයීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ඉකුත් ජනවාරි මස 18 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලෙකෝ ආයතනය විදුලිබල මණ්ඩලය සහ ටෙලිකොම් ආයතනය සමඟ පැවැත් වූ බවත් එහිදී අදාළ පහසුකම් සහ සැපයුම සම්බන්ධයෙන් ඇති අපහසුතාව අදාළ පාර්ශ්වය විසින් පෙන්වා දුන් බවත් එහි දැක්වේ.

අනතුරුව මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සහ විදුලි බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාගෙන් ඉකුත් ජනවාරි මස 23 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළ බවත් විදේශ විනිමය හිඟයක් ඇති බැවින් අදාළ කටයුතු සඳහා මුදල් ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇති අතර, ඒ සඳහා මැදිහත් විය නොහැකි බවට දැනුම් දෙමින් මහ බැංකු අධිපතිවරයා ඉකුත් 26 වැනිදා තමන්ට දැනුම් දුන් බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

2023 වසරේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් ඇස්තමේන්තු කර වෙන් කර ඇති අතර පාර්ලිමේන්තුව විසින් එය අනුමත කර ඇති බවත් අදාළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙයි.

එකී මුදලින් රුපියල් මිලියන සියයක් පමණක් මුදාහරින ලෙස ඉකුත් ජනවාරි 24 වැනිදා තමන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම නිලධාරීන් බැඳී සිටින අතර දැනට පවතින තත්ත්වය යටතේ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම අතිශයින් දුෂ්කර කරුණක් වී ඇති බවට දිවුරුම් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ. එබැවින් මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට නියම කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

t

o

p