ජනපතිගේ නිදහස් දින පණිවුඩය

February 4, 2023

75 වන නිදහස් දිනය සමරන වර්තමානයේ ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙම අභියෝග ජය ගැනීම ස‍ඳහා නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවය.

75 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි තවදුරටත් සඳහන් වන්නේ නිදහස් දින සැමරුමෙන් ආරම්භ වන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් වන රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවය.

100 වන නිදහස් දින සැමරුමේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇති බවට විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසයි.

මේ අතර, මෙරට සාඩම්බර පුරවැසියන් ලෙස එක්ව කටයුතු කරමින් රට තුළ සංවර්ධන පරිවර්තනයක් ඇති කිරීම උදෙසා වූ යුතුකම නිර්ව්‍යාජ ලෙස ඉටුකරීම සැමගේ වගකීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ අභියෝග ජයගනිමින් ආර්ථිකමය වශයෙන් යහපත් ප්‍රගතිශීලී ජාතියක් ගොඩනැගීම රජයේ අභිලාශය බවය.

ස්වයංපෝෂිත බව හා ආහාර සුරක්ෂිතභාවය සාක්ෂාත් කරගනු පිණිස කෘෂිකාර්මික නිෂ්පාදන වර්ධනය කරගන්නා අතරතුර ආර්ථිකය යථාතත්තවයට පත් කරගැනීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශය කනගාටුදායක තත්ත්වයක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විධිමත් ඉදිරිගාමී වැඩපිළිවලක් හැරුණු කොට ඉන් මිදිය හැකි වෙනත් මඟක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසන්නේ පටු ජාතිවාදය සහ වාර්ගවාදය තුළ සිරවී සිටීම සැබෑ නිදහසේ අත්දැකීම් මාර්ගය නොවන බවය.

t

o

p