දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා

January 25, 2023

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අයකරගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කෙරිණි.

මෙම යෝජනා ඉදිරිපත් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නම් මෘදුකාංග පද්ධතිය ආරම්භ කොට ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් කොට ඇති නමුත් එය මේවන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට ‍තොරතුරු ලැබී ඇති බවයි.

උක්ත පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ උක්ත පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවයි. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දුන්නේ 2014දී ආරම්භ කළ මෙම මෘදුකාංග පද්ධතිය 2017දී ගෙන එන ලද නව දේශීය ආදායම් පනත සමග යාවාත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි. එමෙන්ම ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ ‍උක්ත මෘදුකාංග පද්ධතිය නිර්මාණය කරන ලද සිංගප්පූරු සමාගම සමග එළඹ ඇති ගිවිසුමට අනුව ගිවිසුම් තොරතුරු පිටතට ලබා දීමේ ගැටළුවක් ඇති බවයි. එමෙන්ම මෙම ගිවිසුම රජයන් දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නිසා එහි ඉදිරි කටයුතු සඳහා රජයේ මැදිහත්වීම යෝග්‍ය වනු ඇති බවයි.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා කෝපා කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමට යෝජනා කරන ලදී.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එක්ව පිහිටුවීමට නියමිත කමිටුව මගින් රැමිස් (RAMIS) ගිවිසුමට අදාළ නීතිමය තත්ත්වයන් විමසා බැලීම අපේක්ෂා කෙරේ.

මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පිහිටුවනු ලබන කමිටුව මගින් උක්ත මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට නියමිතය.

අදාළ කරුණු පිළිබඳ නිගමන ඇතුළත් වාර්තා සති 06ක් ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාවය පලවිය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) සරත් වීරසේකර, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ජේ. සී. අලවතුවල, වඩිවේල් සුරේෂ්, ඩී.වීරසිංහ, සහන් ප්‍රදීප් විතාන, (ආචාර්ය) හරිණි අමරසූරිය සහ අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

t

o

p