ස්ත්‍රී ශක්තිය ධෛර්යය සහ කැපවීම සුමිත්‍රාවන් සිය නිර්මාණ ජීවිතය තුළ පෙන්වා දුන්නා

January 21, 2023

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදිනි, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) සවස 4.00ට කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අමිල දායකත්වයක් දෙමින් දෙස්-විදෙස් සම්මානයට පාත්‍ර වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මෙරට ප්‍රථම කාන්තා චිත්‍රපට සංස්කාරකවරිය හා සහාය අධ්‍යක්ෂවරියද වූවාය.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය රටට සම්පතක් අහිමි වීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ:

“ලාංකේය සිනමාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ කලාවේදිනි සුමිත්‍රා පිරීස් මහත්මියගේ වියෝව සිනමාවේ එක් යුග පරම්පරාවක අවසානය බව මට හැඟෙයි. අප රටට අවශ්‍ය, කොදෙව්වකට සිර වූ සිනමා කලාවක් නොව, ජාත්‍යන්තරයද ආකර්ෂණය කළ හැකි සිනමා කලාවක් බව ඇය විශ්වාස කළාය. ලෙස්ටර්ද සමඟ ඒ වෙනුවෙන් වෙහෙසුණාය. අනෙක් අතින්, ශ්‍රී ලාංකේය සිනමාවේ ස්ත්‍රී ලකුණ සටහන් කරලීමේ පුරෝගාමිත්වය ගත්තේ ඇයයි. ස්ත්‍රී ශක්තිය,‍ ධෛර්යය සහ කැප වීම ඇය සිය නිර්මාණ ජීවිතය තුළ පෙන්වා දුන්නාය.

“වරෙක මම ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාටත්, සුමිත්‍රා පීරිස් මහත්මියටත් පැවසුවේ සුමිත්‍රාවන් නිර්මාණය කළ චිත්‍රපට අතුරින් මා වඩාත් ප්‍රිය කරනුයේ ‘ගඟ අද්දර‘ චිත්‍රපටයට බවයි. ගඟ අද්දර අතිමහත් රසික ප්‍රසාදයක් දිනාගත්තක් මෙන්ම සම්මානයට පාත්‍ර වූවක්ද විය.

“සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය එක් අතකින් රටට සම්පතක් අහිමි වීමකි. අනෙක් අතින් පවුලේ සමීප මිතුරියක අපෙන් වෙන් වීමකි. මගේත්, මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය මෙසේ පළ කර සිටිමු.“

t

o

p