පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිය යුතුයි : වන්දිය මිලියන 100ක්

January 12, 2023

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියම කර ඇත.

එම සියලු මුදල් එකතු කර ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවට ත් නියෝග කළ අධිකරණය බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

තව ද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව මාස 6 ක් තුළ විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 12ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය එම නියෝගය ලබා දී ඇත.

t

o

p