සිංහල අවුරුදු නැකැත් 2022

April 13, 2022

නව සඳ බැලීම

අප්‍රේල් මස 03 වැනිදා ඉරිදා අභිනව චන්ද්‍ර වර්ෂය ද මැයි මස 05 වනදා බ්‍රහස්පතින්දා අභිනව සූර්ය වර්ෂය ද සඳහා නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනිදා බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට, ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා  පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.17ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමිකවතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වාපකාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ  අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 17 වැනිදා ඉරිදා උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති)  වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

t

o

p