ඇඳිරි නීතියෙන් පසුව රට නැවතත් විවෘත වෙයි : ඔබ දැන ගත යුතු කරුණු

October 1, 2021

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම 4 ට අවසන් කෙරුණා. ඒ, දින 42 කට පසුවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළේ ඉකුත් අගෝස්තු 20 වනදායි.

අද දිනයේ සිට ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සදහා අන්තර් පළාත් සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ නැහැ.

මගීන් අඩු සංඛ්‍යාවක් සමග ප්‍රවාහන පහසුකම් යළි ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ යටතේ පොදු ප්‍රවාහන සේවයේදී මගීන් ගෙනයා හැක්කේ ආසන ධාරිතාවට පමණයි. පොදු ප්‍රවාහනයේදී වායුසමනය කළ රථ භාවිත නොකළ යුතු වනවා. ආයතනයට පැමිණෙන සේවකයින් ගණන සැමවිටම සීමා කළයුතුයි.

හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීම දිරිමත් කළයුතු බවද නව මාර්ගෝපදේශ මාලාවේ සදහන්. අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත හැර සෙසු සේවා අවම සේවකයින් සමග ක්‍රියාත්මක විය යුතු අතර ගෙන්වා ගත හැකි සේවකයින් පිළිබද තීරණය ආයතන ප්‍රධානියා සතුයි. මහජන රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තහනම්.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ මාසයක කාලයක් සදහායි. එයද ඔක්තෝම්බර් පළමු වනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ, ඔක්තෝම්බර් 16 වනදා සිට 31 වනදා දක්වා තවත් අදියරක් යටතේත් නව සීමාවන් වෙන් වෙන් වශයෙන් පනවා තිබෙනවා.

ඒ අනුව අදාළ සම්පූර්ණ මාසය තුළ රැකියා සදහා, සෞඛ්‍ය අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලබාදී තිබීම විශේෂත්වයක්. අදාළ සම්පූර්ණ කාලය තුළ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට වීවෘත කළ හැකි අතර සතිපොළ හා ජංගම වෙළදුන්ට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය අධීක්‍ෂණයට යටත්වයි. ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි අතර කෘෂිකර්මාන්තයටද අවසර ලබාදී තිබෙනවා. බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාරවලට වෙලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තීරණය කරන පරිදි සිසුන් 200 කට අඩු පාසල් පළමුව විවෘත කිරීම සැලසුම වී තිබෙනවා. දිවා සුරැකුම් මධ්‍යස්ථානද හෙට සිට විවෘතයි. පැමිණෙන ළමුන් සංඛ්‍යාවෙන් සියයට 50 ක ධාරිතාවෙන් පෙර පාසල් ද ක්‍රියාත්මක කළ හැකි අතර විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි වනවා. ඕනෑම වේලාවක සියයට 50 ක ධාරිතාවකින් යුක්තව වෘත්තීය පුහුණු ආයතන ක්‍රියාත්මක විය හැකියි. උපකාරක පන්ති ද තවදුරටත් තහනම්. මාර්ගෝපදේශයන්ට අනුකූලව විභාග පැවැත්විය හැකියි.

අධිකරණ සේවා කොමිසම මගින් ලබාදී ඇති නියෝගවලට අනුකූලව හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අධිකරණ කටයුතු ද සිදුකළ හැකි වනවා. බැංකු ඇතුළු මූල්‍ය ආයතන පවත්වාගෙන යා හැක්කේ ඕනෑම අවස්ථාවක ආයතනය තුළ සිටිය හැකි ගණුදෙනුකරුවන් සංඛ්‍යාව 5 ක් වන පරිදියි. එම ආයතනද ක්‍රියාත්මක විය යුත්තේ අවම සේවකයින්ගේ සහභාගිත්වයෙන්.
ආහාර රැගෙන යන අවන්හල් සදහා ද අවසර ලබාදී තිබෙනවා.

ඇවිදින මංතීරු, වෙරළ තීර විවෘත කළ හැකි නමුත් සිනමා ශාලා තවදුරටත් වසා තබනු ඇති. ප්‍රදර්ශන සහ සම්මේලනවලටද අවසර හිමි වන්නේ නැහැ. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමුහික ක්‍රියාකාරකම්වලටද අවසර ලබානොදීමටයි තීරණය කර ඇත්තේ. තවත් මාසයක් යනතුරු උත්සව, සාද, ඒකරාශිවීම් සදහා අවසර ලැබෙන්නේ නැහැ.

මීට අමතරව අදියර දෙකක් යටතේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක ක්‍ෂේත්‍රයන්ද මෙහිදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට සිට ලබන 15 වනදා දක්වා පුද්ගලයින් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුකළ හැකියි. 16 වනදා සිට 31 වනදා දක්වා ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 50 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 50 කට පමණක් සීමා වන පරිදි මංගල උත්සව පැවැත්විය හැකි වනවා. එළිමහන් උත්සව පැවැත්වීමට දිරිමත් කරන අතර මත්පැන් භාවිතයට අවසර ලැබෙන්නේ නැහැ.

අවමංගල්‍ය උත්සව මෘත දේහය මුදාහැර පැය 24 ක් තුළ සිදුකළ යුතු අතර පළමු දින 15 දී ඕනෑම වේලාවක සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 10 කට සීමා කර තිබෙනවා. ලබන 16 වනදා සිට 31 වනදා දක්වා ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 15 දෙනෙකු පමණක් බවටද නව මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්.

රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ පළමු දින 15 තුළ ඇතුළුවිය හැක්කේ පුද්ගලයින් ගණනින් ගණනින් සියයට 25 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 25 කට යටත්වයි.

ඔක්තෝම්බර් 16 වනදා සිට 31 වනදා දක්වා ඇතුළු කර ගත හැකි පුද්ගලයින් ගණන සියයට 25 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 50කට යටත්ව රැස්වීම් වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්විය හැකි වනවා.

පරිභෝජනය කරන අවන්හල් සදහා ඔක්තෝම්බර් 15 වනදා තෙක් අවසර හිමි වන්නේ නැහැ. එහෙත් ඔක්තෝම්බර් 16 වනදා සිට ආසන ධාරිතාවෙන් සියයට 30 ක් පිරෙන ආකාරයට උපරිමය සියයට 50 කට සීමා වන පරිදි ගණුදෙණුකරුවන් ඇතුළත් කර ගත හැකියි. අවන්හල් තුළ මධ්‍යසාර හා මත්පැන් භාවිතය තහනම්. එළිමහනේ ආසන සකසා ඇත්නම් ගණුදෙනුකරුවන් 60 ක් ඇතුළු කර ගත හැකි වනවා.

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළදසැල්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙළද සැල් සදහාද මාර්ගෝපදේශ දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට 15 වනදා දක්වා වරකට එම ස්ථානයක සිටිය හැක්කේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 10 ක් පිරෙන පරිදි පමණයි. ඔක්තෝම්බර් 16 වනදා සිට එම සංඛ්‍යාව සියයට 20 ක් දක්වා වැඩි කර තිබෙනවා.

ව්‍යායාම ශාලා හෙට සිට පළමු දින 15 දී උපරිමය 5 දෙනෙකුට යටත්ව පවත්වාගෙන යා හැකි අතර එක ළග ඇති උපකරණ එකවර භාවිත නොකළ යුතුයි. ලබන 16 වනදා සිට සියයට 30 ක ධාරිතාවකින් උපරිම පුද්ගලයින් ගණන 10 ක් සමග ව්‍යායාම ශාලා පවත්වාගෙන යා හැකියි.

ක්‍රීඩා කටයුතු සදහා ඔක්තෝම්බර් 15 වනදා තෙක් අවසර ලැබෙන්නේ නැහැ.

එහෙත් ඔක්තෝම්බර් 16 වනදා සිට ක්‍රිකට්, වොලිබෝල්, ගෘහස්ථ ක්‍රීඩා, ජල ක්‍රීඩා ඇතුළු නම් කර ඇති අඩු අවදානම් ක්‍රීඩා සදහා අවසර හිමි වනවා. කෙසේවෙතත් නරඹන්නන් ඇතුළු කර ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ.

සෞඛ්‍ය අමත්‍යාංශය පවසන්නේ ඔක්තෝම්බර් 31 වන දින පවතින තත්ත්වය සමාලෝචනය කර එම තත්ත්වයන්ට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බවයි.

t

o

p