අනුරාධපුර ඓතිහාසික අභයගිරි පූජා භූමියට සිදුකරනු ලබන නවතම මාලිදිලියක කුකුළු පූජාවන් නිසා ඒ අවට සත්ව හිංසනය හා පරිසරය සම්බන්ධ ගැටළු, අර්බුද කිහිපයක් නිර්මාණය වී තිබේ. ක්‍රිස්තු පූර්ව 103 හා නැවත 89-77 අතර අනුරාධපුරයේ රජකම් කළ වලගම්බා රජු විසින් කරවන ලදැයි පැවසෙන අභයගිරි ස්ථූපය හා සබැඳි මෙම කුකුළු පූජාව බෞද්ධ සම්ප්‍රදායෙන් ඉඳුරාම බැහැර වූවකි. මෙම නවතම පූජා සම්ප්‍රදාය ව්‍යාප්ත වී ඇත්තේ එම පුදබිමේ නටබුන් අතර ඇති සංඛ සහ පද්ම නම් වන බහිරව රූප දෙකක් මුල් කොට මෑතක සිට ප්‍රවර්ධනය වූ ජන විශ්වාසයක් පදනම් කර ගනිමිනි.
අභයගිරි චෛත්‍ය භූමියට පිවිසෙන පියගැට පෙළ දෙපස මුරගල් වල කොටා ඇති කිසිසේත් වන්දනීය හෝ පූජනීය නොවන බහිරව රූප දෙක ‘සංඛ’ සහ ‘පද්ම’ යනුවෙන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා ගැනීමත් සමඟ මීට දශක කිහිපයක සිට අප රටේ මධ්‍යම පාන්තිකයන් මෙම බහිරවයන්ට ද වඳින්නට පුදන්නට පටන් ගෙන තිබේ. ඒ හුදෙක් එම බහිරවයන් වැඳීමෙන්, පිදීමෙන්, මිල මුදල්, ධන ධාන්‍ය, තාන්න මාන්න, විභාග, නඩු හබ ජය සේම දරු සම්පත් ද ලැබෙන බවට මෑතක සිට පැතිර ගොස් ඇති අන්ධ විශ්වාස මුල් කර ගනිමිනි.
එමෙන්ම මෙම දොරටු පාලකයන් දෙදෙනාට වැඳීමෙන් සහ පිදීමෙන් ග්‍රහ අපල වැනි ගුප්ත දෝෂ දුරු වී ලෙඩ දුක් ද සුව වන බවට ජන විශ්වාසයක් සිංහල බෞද්ධ මධ්‍යම පාන්තික ජනතාව අතරේ ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ ජනතා අවශ්‍යතාව මුල් කොට දැනට වසර ගණනාවක සිට මෙහි සංඛ සහ පද්ම බහිරවයන් උදෙසා දේවාල දෙකක් ඉදිව ඇති අතර ශ්‍රී ලංකාවේ වෙසෙන සුපිරිතම ධනපතියන් ගේ දායකත්වය යටතේ අංග සම්පූර්ණ පෙරහැරක් ඇතුළු වාර්ෂික බහිරව පූජා සැනකෙළියක් ද පවත්වා ගෙන යනු ලැබේ.
බුදු සමය හා කිසිදු සබැඳියාවක් නොමැති සහ මූලික බුදු දහමට සපුරා පටහැනි මේ බහිරව පූජාව වශයෙන් බහිරවයන්ට පුදනු ලැබූ කුකුළන් සැලකිය යුතු පිරිසක් අද වන විට අභයගිරි පූජා භූමිය තුළ අනාථ වී සිටිනුයේ එම නරුම පූජා චාරිත්‍ර පසුබිම යටතේ ය. ඒ අනුව නිවෙස් වල ඇති කරනු ලදුව පිට ප්‍රදේශවල නාගරිකයන් විසින් ගෙනවුත් අභයගිරි පූජා භූමියේ අත හරින ලද කුකුළන් සැලකිය යුතු පිරිසක් අද වන විට අභයගිරි පුදබිම තුළ නන්නත්තාර වී සිටිති. එම පරිසරයෙන් ආහාර සොයා ගත නොහැකිව දිනෙන් දින කායිකව දුබල වන එම කුකුලෝ රාත්‍රී කාලය ගත කිරීමේ සුපුරුදු මංපෙත් අහිමි වීමෙන් විවිධ උවදුරු වලට ලක් වෙති. කෝවිඩ් වසංගතය වඩාත් උග්‍රව පැවති පසුගිය කාලයේ එම පූජා භූමිය අවට සැරිසරන නිවාස අහිමි සුනඛයන් විසින් එම කුකුළන් ගෙන් සැලකිය යුතු පිරිසක් මරා කා ඇති අතර එම කුකුළු දඩයම පුද බිම අවට සොරකමින් දිවි රැක ගන්නා, එමෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට ගජ වාසියක් බවට පත්ව තිබේ. ගම් කුකුළු මස් වලට වඩා ෆාම් කුකුළු මස් වලට ඉහළ මිලක් නිර්මාණය වී තිබීම ඊට හේතුව ය.
ජන විශ්වාසයට අනුව බහිරව සංකල්පය ආතාල සහ පාතාල යනුවෙන් කොටස් දෙකකි. ආතාල බහිරව යනු මිහි මත ඇති ගේ fදාර ඉඩකම් වලට අධිපති බහිරවයා වන අතර පාතාල බහිරව යනු මිහි තුළ ඇති ජලයේ සහ පසේ සිට ගොඩබිම හා ජලය තුළ ස්වභාවික ඛනිජ සම්පත් වලට සේම මිහිදන් කොට ඇතැයි සැලකෙන ධන නිධාන වලට අධිපති බහිරවයා ය. ජන විශ්වාස වලට අනුව පාතාල බහිරව සංකේතය නාගයා වන අතර සුනඛයා ආතාල බහිරවයා ගේ සංකේතයයි. ඒ අනුව බහිරවයාට පුද පිණිස අභයගිරි පුදබිමේ අතරමං කරන ලද කුකුළන් පිළිබඳ යම් ජන්ම හිමිකමක් සුනඛයන් සතුව ඇති බවට එම ජන විශ්වාස පෙරදැරිව යමකුට සිතෙන්නට පුළුවන. එහෙත්, බහිරවයා සන්තක කරන ලද එම සතුන් මරා කෑමට ස්වභාවික අයිතියක් කිසිදු මිනිසෙකුට නොමැති බව පැහැදිලි ය.
මේ තත්වයන් යටතේ මේ වන විට අභයගිරි පුදබිම අවට කෑමට යමක් තබා බීමට දිය පොදක්වත් නොමැතිව සැරිසරන කුකුළු ප්‍රජාව රැක ගැනීමේ වෙනම නිහඬ ව්‍යාපෘතියක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියේ සේවය කරන කම්කරු මහතුන් කිහිප දෙනකුන් විසින් අරඹා තිබේ. විවිධ පුද්ගලයන් විසින් එම කුකුළන් ඇල්ලීම සඳහා අටවා ඇති උගුල් ඉවත් කිරීමේ සිට එලෙස උගුල් ඇටවීමට හෝ වෙනයම් ක්‍රමවලින් කුකුළන් ඇල්ලීමට එන පුද්ගලයන්ට වෙනිවැල් ගැට තම්බා බීමේ සිට තැළුම් තෙල් ගා ගැනීමට සිදුවීම දක්වා වන විවිධ ක්‍රියාන්විත වල යෙදීමට එම නිහඬ ව්‍යාපෘතිය යටතේ අවස්ථා කිහිපයක දීම සිදු වූ බව එම කම්කරු මහත්වරු මා හා කීහ.
“මේ අනුරාධපුරේ පැත්ත පළාතක කිසිම කෙනෙක් ඔය ගොබ්බ වැඩේ කරන්නේ නැහැ. කරන තරමක් කරන්නේ ලොකු ලොකු වාහන වලින් පිටින් එන මිනිස්සු. මේ විදිහට සත්තුන්ව අසරණ කළාම තමන්ට සල්ලි, වතුපිටි, යාන, වාහන, තනතුරු ලැබෙනවා කියලා හිතන්න තරම් ඔය මිනිස්සු මෝඩ වුණේ කොහොමද කියලා අපිට නම් හිතා ගන්නවත් බෑ; කොහොම වුණත් මෙතනට ගෙනත් දාන සත්තු සති, මාස කීපයක් ඇතුළත මොන ක්‍රමයකින් හරි මැරිලා යනවා මයි. එහෙම වෙලත් මේ සත්තුන් ගේ ගාණ දවසින් දවසම වැඩි වෙන්න මොන තරම් නම් සත්තු ප්‍රමාණයක් මෙතනට ගෙනත් දානවා ඇද්ද? සැරයක් අපි ඔය වැඩේ කරන්න එපා කියලා මෙතන බෝඩ් හරි ගහන්න කියලා ඔය දේවාල කරගෙන යන අයට කිව්වා. ඒත් ඒ අයට ඒ ගැන වගේ වගක් වත් නැහැ.” අභයගිරි ව්‍යාපෘතියේ සේවය කරන කම්කරු මහත්වරු අප හා කී හ.
අමනුෂ්‍යයකු වුව ද බහිරවයා දෙවියෙක් නොවේ. ඔහු රන්, රිදී, මුතු, මැණික් පළඳින වාමන ස්වරූපයේ විරූපී පුද්ගලයකු බව පැවසෙයි. එහෙත්, ලෞකික සම්පත්වලට අධිගෘහිත වීම හේතුවෙන් සමාජය ඔහුට ‘දේවතා’ නාමය ප්‍රදානය කොට තිබේ. මා ඒ බව විශේෂයෙන් සඳහන් කළ ද අත මිට ඇති ඕනෑම ‘අමනුෂ්‍යයකුට’ දේවාතාවකුට මෙන් සැලකීමේ සමාජ ප්‍රවණතාව මත බහිරවයාට පමණක් ඒ හිමිකම, වරප්‍රසාදය අහිමි කිරීමට අපට නොපුළුවන. එහෙත්, එෛතිහාසික අභයගිරි ස්ථූපයේ මුරකාර භූමිකාව කරනු ලබන මෙම බහිරවයන් දෙදෙනා මේ කියන කුකුළු පූජාවේ සිට වාර්ෂිකව සිදු කෙරෙන මහා පරිමාණ පූජා සැනකෙළියකින් පිදුම් ලැබීමට තරම් බලවත් වූයේ කෙසේද? එය හරියට සාමාන්‍ය ජනතාව රාජ්‍ය නායකයකුට ලබා දෙන ගරු සරුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට ලබා දීමට සමාන නොවන්නේ දැයි මට වරෙක සිතෙයි. එහෙත්, තමන් ගේ මඩිය පිරෙන තුරු මිල මුදල් ඇතුළු ලෞකික සම්පත් ලබා දෙන්නා කවරෙකු වුවද තරාතිරම නොතකා ඔහුට ගරු බුහුමන් දැක්වීමේ සමාජ ප්‍රවණතාවය මේ fදාරටුපාල බහිරව උන්නැහේලා දෙන්නාට ද එලෙසින් බලපා ඇති බව මගේ විශ්වාසයයි.
ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පුදබිමක් වන අනුරාධපුර අභයගිරිය මුල් කොට සිදු කෙරෙන මෙම කුකුළන් පූජා කිරීමේ අබෞද්ධ චාරිත්‍රය මුල් කොට ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම එම ස්ථාන බලධාරීන් ඇතුළු සියළු වගකිව යුතු පාර්ශ්වයන් ගේ යුතුකමක් හා වගකීමක් බව කිව යුතු ය. ඒ දැනට මෙම කුකුළන් පූජා කිරීමේ ප්‍රවණතාව මත තව නොබෝ කලෙකින්ම අභයගිරිය ආශ්‍රිතව දැනට වෙළඳ පලේ ඇති කුකුළු මස් සන්නාමයකට සමාන වන අන්දමින් ‘බහිරව’ නමින් තවත් එළිමහන් කුකුළු ගොවිපලක් නිර්මාණය වීමේ ස්වභාවික ඉඩ කඩක් පවතින බැවිනි.
සටහන සහ ඡායාරූප – තිලක් සේනාසිංහ