අලුත් අවුරුදු සමයේ රිය අනතුරු බහුල වීමත් නොනිසි සමාජ ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක්

April 18, 2021

අප රටේ රිය අනතුරු වැඩිම මාසය ලෙස අප්‍රියෙල් වාර්තා ගත වී තිබේ. අප්‍රියෙල් මාසයේ ද 13 සහ 14 යන දින වල වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදු වන බව පොලීසිය කියයි.බැලූ බැල්මට රිය අනතුරු සිදු වීමට මාර්ගයේ වාහන බහුල බව,අධික වේගය,රියැදුරන්ගේ නොසැලකිලිමත් බව ආදී බහු විධ සාධක බාහිර බල පෑ හැකි ය.එහෙත්,ඒ සඳහා අභ්‍යන්තරික වශයෙන් මනෝ කායික සාධක ද පෙරමුණ ගනියි.

දැඩි වෙහෙසකර බව,නිදිමත,මත් පැන්,මත්ද්‍රව්‍ය භාවිතය,මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම ද මාර්ග අනතුරු වලට සෘජුවම ඉවහල් වන බව මේ වන විට අනාවරණය වී තිබේ.ඊට අමතරව මේ සඳහා බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ වැදගත් මනෝ විද්‍යාත්මක සාධක ද මතු වී පෙනෙයි.කවර හෝ ප්‍රීති උත්සවයක් ඊට සම්බන්ධ වන්නවුන් හට විනෝදාශ්වාදය ගෙන දීමට සමත් වන බව අපි දනිමු.එහෙත්,එම උත්සව සැලසුම් කටයුතු වලදී ඒවා සංවිධානය කරන්නවුන් හට යම් කාංසාත්මක තත්වයන් හා මානසික ආතතීන් දරා ගැනීමට සිදුවෙයි.

විශේෂයෙන් ඒ සඳහා වැයකළ යුතු ධනය,ශ්‍රමය,කාලය ආදී සාධක සීමාසහිත වීමත් එම සාධක නිසි පරිදි කළමණාකරණය කළ නොහැකි වීම ආදී කරුණු මත මෙම කාංසාත්මක තත්වයන් හා
ආතති මට්ටම ඉහළ නැංවෙනු ඇත.එමෙන්ම කිසියම් නියමිත වේලාවක් ඉලක්ක කොට වැඩි
වැඩ කොටසක් හිස මතට ගැනීම මුල් කොට ද මෙම කාංසාත්මක හා මානසික ආතති මට්ටම
ඉහළ නැඟීම නිතැතින්ම සිදු වනු ඇත.

එහි දී  ශරීරයේ ඇඩ්‍රිනලීන් හෝමෝන ක්‍රියාකාරිත්වය හා සබැඳි මානසික පීඩනය මත පදනම් වන කාන්සාව හා සබැඳි අසංතෘප්තිය නොරිස්සුම් සහහත  බව ක්ෂණික කෝපය,තත්කාලීන මතකයන් ගිළිහී යාම ආදී ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර ස්වසන වේගය සහ හෘද ස්පන්දනය ඉහළ නැංවීම සේම අධික රුධිර පීඩනය,රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම,  පවා දක්නට පුළුවන.

මෙය පුද්ගලයන්ගේ පෞරුෂ,පවුල්,ප්‍රජා සහ සමාජමය දිවි පෙවෙත් කෙරෙහි සෘජුව
බලපාන්නකි.

මෙලෙස විවිධ කායික මානසික මට්ටම් වලින් යුතු පුද්ගලයන් එකම නිමිත්තක්,අරමුණක් වෙනුවෙන් පොදු සමාජය තුළ හැසිරීමේ දී තමන් ද නොදැනුවත්වම අන්‍යයන් අනුකරණය කිරීමට සහ අන්‍යයන් සමඟ තරඟ කිරීමට ඔවුනට සිදු වනු ඇත.පසු ගිය දින කිහිපය තුළ නගර වල කඩ-සාප්පු ජනයාගෙන් උතුරා යන්නට පටන් ගත්තේ එබැවිනි,.මෙහි දී පාරිභෝගිකත්වයෙහි ලා ඔවුන් දක්වන අසීමාන්තික උනන්දුව තුළින් ඇතැමුන්ට තමන්ගේ මූලික පාරිභෝගික අවශ්‍යතා පවා අමතක විය හැක.

මෙම තත්වය හඳුන්වනු ලබනුයේ රංචු චර්යාව[Head behavior] යනුවෙනි.තමන්ගේ අවශ්‍යතාව,අතේ ඇති මුදල,දැරිය හැකි වියදම වැනි අත්‍යවශ්‍ය සාධක අතික්‍රමණය කරමින් හැඟීම් ආවේග මත හට ගන්නා ආශාව,තෘෂ්ණාව මත පදනම් ව භාණ්ඩ හා සේවා කෙරෙහි යොමු වීම අධිපරිභෝජනය ලෙස සැලකෙයි.

පාරිභෝගික භාණ්ඩ සහ සේවා අලෙවි කලාප වල ශබ්ද වාහිනී ආදිය මඟින් ගීත ප්‍රචාරය කිරීමේ සිට පහසු ගෙවීමේ ක්‍රම නම් වන වානිජමය උපක්‍රම වෙත ජනතාව ඇද ගැනීම මෙහි දී බහුලවම සිදු වේ.මීට අමතරව රූපවාහිනී ඇතුළු ජනමාධ්‍ය මඟින්”අවුරුදු අසිරිය” නමින් විකාශය කරනු ලබන වැඩ සටහන් කෙරෙහි ද පොදු සමාජ අවධානය යොමු විය යුතුය.

වර්තමානයේ ඉඳ හිට වත් දක්නට නොලැබෙන ලන්තෑරුම්,කරත්ත රෝද  ආදිය පසුබිමෙහි ඇති අපගේ පැරණි දේශීය ගැමි සංස්කෘතිය විදහා දැක්වෙන  පැල්පත් ආදී කෘත්‍රිම දර්ශන පසුතලයන් හි සිට වර්තමාන සමාජ-ආර්ථිකය හා කිසිදු සබැඳියාවක් නැති ජනතාව තුළ අතීත කාමය[Nostalgia] පුබුදන කරුණු ඉදිරිපත් කිරීමේ “නවීන මාධ්‍ය විලාසිතාවක්” ද මේ කාලයේ දී දැකිය හැක.

දේශීය බව ගැමි බව විදහා දැක්වෙන ඇඳුම් පැළඳුම් වලින් සැරසී මෙම වැඩ සටහන් වලට එක් වන්නවුන් හුදු අතීත විත්තිම මිස සිංහල අළුත් අවුරුද්ද හා සම්බන්ධ වර්තමාන තත්වයන් තුළින් අප රටේ පැරණි සම්ප්‍රදායන් බිඳ වැටීම ගැන කිසිවක් නොකීම ද විශේෂත්වයකි.

නිදසුනක් ලෙස අපගේ පැරණි ගැමි සමාජය සිංහල අළුත් අවුරුද්ද මුල් කොට ණය බරින් නිදහස් ව තම ජීවිත නවතාවයකින්  ඇරඹූ බව පවසන මොව්හු මේ වන විට වසරේ වැඩිම”ක්‍රෙඩිට් කාඩ්” භාවිත වන කාලය අවුරුදු සමය බව නොකියති.

එමෙන්ම අපගේ පැරණි ජන සමාජයේ සිංහල අළුත් අවුරුද්ද මුල් කොට සදාචාරය මත පදනම් ව සතුට සමාදානය සමගිය උතුරා ගිය බව පවසන මොව්හු වර්තමානයේ සිංහල අළුත් අවුරුද්දේ මුල් තැන ගන්නා පානය මත් පැන් බවත් එමඟින් මෙම කාල සීමාව අප රටේ මිනී මැරුම් කල කෝලාහල සේම මංකොල්ල කෑම් බහුලම සමයක් වන බවත් බැරි වෙලාවත් නොකියති.

මෙසේ වත්මන් සිංහල අළුත් අවුරුද්දේ නොමැති වරුණ වනන්නට මාධ්‍ය හමුවට පැමිණෙන කණ්ඩායම් තුනකි.සම්මත උගතුන් වුව වත්මන් සමාජය පිළිබඳ ප්‍රායෝගික දැනීමක් නොමැත්තවුන් එන් පළමු පිරිස ය.දෙවැනි කණ්ඩායම කවර ක්‍රමයකින් හෝ මාධ්‍යයන් හමුවේ පෙනී සිට පසිද්ධියක් ලැබීමට කැමති පිරිස් ය.

මෙම සියළු ඛේදනීය තත්වයන් දැක දැකත් විවිධ ව්‍යාපාරිකයන් ගේ අවශ්‍යතා මත මිල මුදලට හෝ වෙනයම් ප්‍රතිලාභ මත ඔවුන් ගේ අලෙවි ඒජන්ත වරුන් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටින පිරිස් මෙම තුන් වන කණ්ඩායමට අයත් වෙති.නමුදු මේ සියළු ආකාරයේ පිරිස් විසින් කරනු ලබනුයේ වත්මන් සිංහල අළුත් අවුරුද්ද මුල් කොට ගත් අධි පරිභෝජන වාදයට “දර දිය
ඇදීම” පමණි.

මෙවන් කරුණු පදනම් ව ජන සමාජය තුළ අධි පරිභෝජනය මුල් කොට ගත් සහනශීලී බව නොමැති වීම ද ඉහත සඳහන් රිය අනතුරු ඇතුළු සියළු අයහපත් සංසිද්ධීන් වලට බලපායි.මෙවන් සමාජමය අර්බුද මාධ්‍ය සංතෘප්තිත සමාජයක්[Media saturated society]තුළ දැකිය හැකි දුර්දාන්ත ලක්ෂණයකි.

මෙම තත්වයන් පිටු දැකීම පිණිස ඊනියා සමාජ ප්‍රවණතාවයන් සමඟ සෘජුවම බද්ධ වීම වෙනුවට තමන්ට ඊට අනුගත විය හැකි අනන්‍ය ක්‍රමවේදයක් පිළිබඳව සිතා ඒ අනුව කටයුතු කිරීම
වඩාත් යෝග්‍ය වනු ඇත.

ඒ කෙසේ හෝ මීට සියවස් ගණනක සිට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවන රටාවක් හා සබැඳි සිංහල අලුත් අවුරුද්ද විධිමත් නියාමනයකයකට නතු නොවූ විවෘත ආර්ථිකය මත පදනම් වූ අධිපරිභෝජනවාදී සමාජයක් තුළ ස්ථාපිත වීමේ දී ඒ හා සබැඳි සමාජ මනෝ විද්‍යාත්මක ගැටළු අර්බුද රැසක් පැන නැඟී ඇති බව පැහැදිලිය.

නමුදු, මෙතෙක් ඒ පිළිබඳව නිසි සමාජ අවධානයක් ඇති වී ඇති බවක් ද නොපෙනෙයි.මේ
සියළු කරුණු තුළනාත්මකව විමසීමේ දී පෙනී යන්නේ සිංහල අළුත් අවුරුදු සමයේ
පොදු ජන මානසික සහනශීලිත්වය අහිමි වීම මුල් කොට සිදු වන රිය අනතුරු,සාපරාධී ක්‍රියා සහ මංකොල්ල කෑම් ද වත්මන් නොවිධිමත් සමාජ ආර්ථිකයේම අනිටු ප්‍රතිඵල බවය.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

t

o

p