අජිත් මාන්නප්පෙරුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

April 9, 2021

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

අනතුරුව හෙතෙම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණි.

2002-2009 කාල සීමාව තුල ගම්පහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙතෙම 2009-2013 කාල සීමාව තුළ බස්නාහිර පළාත් සභාවද නියෝජනය කළේය.

2015 වසරේ එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට පිවිසීමටද ඔහුට හැකි විය.

2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී හෙතෙම සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ 05 වැනි ස්ථානයට තේරී පත් විය.

ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්, බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ මාන්නප්පෙරුම මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියද හිමිකර ගෙන තිබේ.

t

o

p